Tuesday, August 15, 2017

මළගිය ඇත්තෝ සහ සරත්චන්ද්‍රයන්ගේ ජීවිතය



‘‘ඉක්මනින් ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුව ම’’
(මළවුන්ගේ අවුරුදු දා- එදිරිවීර සරත්චන්ද්‍ර)

උක්ත පදවැල කවිපොතක හෝ ගේය පද බැඳුමක එන පදවැලක් නො වන වග සිංහල සාහිත්‍යයේ ඇසූ පිරූ තැන් ඇති ඔබ දන්නා බව නිසැකය. 1959 දී පමණ සිය ප‍්‍රථම නවකතාව ලෙසින් එදිරිවීර සරතච්චන්ද්‍රයන් නැමැති ඒ උත්තුංග නිර්මාණවේදියා විසින් රචනා කරන ලද මළගිය ඇත්තෝ නවකතාවෙහි එන පද්‍ය කොටසකි එය.

දෙවෙන්දොරා සං නැමැති ලාංකේය සිවුරලූ චිත‍්‍ර ශිල්පියා හා නොරිකෝ සං නැමැති ජපන් ආපනශාලා සේවිකාව අතර ඇති වන පේ‍්‍රමයේ සුන්දර මෙන් ම වේදනාත්මක පාර්ශවයන් ද තේමා කොට ගනිමින් රචිත මෙම මළගිය ඇත්තෝ නවකතාව වනාහී හුදෙක් එකල මෙකල ලියැවුණු තවත් එක පේ‍්‍රම කතාන්දරයක් නම් නොවෙයි. සිතින් පෙම්බැඳි ඔවුන්ගේ පේ‍්‍රමය වරෙක ප‍්‍රහර්ශයේ කෙළවරක සංතෘෂ්ටිය විඳිමින් ද තවත් වරෙක වේදනාවේ ෙඛිදාන්තමය කටුකත්වය විඳිමින් ද ගලා ගිය යථාර්ථවාදී පේ‍්‍රම කතාවක් ලෙසින් හඳුනාගත හැකිය. දෙවෙන්දොරා යනු කලාකාමී මානසිකත්වයේන් පසු වූ අයෙකි. ඔහු තමන් දකින් සෑම කලාකාමී හැඟුමක් ම ප‍්‍රීතියෙන් වැළඳ ගනු ලැබීය. ඒ හැඟුම විඳීම තුළින් ඔහු අප‍්‍රමාණ ආනන්දයක් විඳිනු ලැබුවේය. එහෙත් ඔහු ඒ විඳීම හිමිකර ගැනීමක් දක්වා දුර ගෙන නොයන්නෙකි. ඔහුට නොරිකෝ පිළිබඳ මෙන් ම පේ‍්‍රමය පිළිබඳ ව ද ඇත්තේ උක්ත විඳීම ම ය. මිදොරි අවන්හලේ පැද්දෙන දොරටු අතරින් ඇතුල් වූ දෙවෙන්දොරා ප‍්‍රථම ව වරට නොරිකෝ මුණ ගැසුණු තැන පටන් සමස්ථ නවකතාව පුරාවට ම කියැවෙන්නෙ හිමිකර ගැනීමෙන් තොරව පේ‍්‍රම කිරීමේ දී ඇතිවන තත්වයන් පිළිබඳවයි. ඒ පිළිබඳ කල්පනා කරන කල එය වෙන ම ම ලිවිය යුතු විශාල ලිපියකට දොරගුලූ පවා විවර කරනු ඇත. 



දෙවෙන්දොරා ගේ මෙම සංවේදී කලාකාමී විඳීම  නවකතාව ආරම්භයේ පටන් ම දැකිය හැකිය. හේ සංවේදී කලාකරුවෙකි. ජපන් පරිසරයට පය තැබූ මොහොතේ පටන් ම දෙවෙන්දොරා සං විසින් ඒ පරිසරයේ ඇති සුන්දරත්වය විඳිනු ලබන ස්වරූපය මළගිය ඇත්තෝ නවකතාවේ දක්වා ඇත්තේ මෙපරිද්දෙනි.
‘‘ඒ රටට පැමිණි මට වහා ම හැඟුනේ බැලූ බැලූ අත වර්ණයෙන් දෑස පිනවන වෙන රටක් මා දැක නැති බව ය. ගිනි පෙට්ටිය, තේ කෝප්පය වැනි තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකට ම අපූරු හැඩයක් දමා විචිත‍්‍ර වර්ණයක් කවා සෞන්දර්යයෙන් වටවී ජීවත් වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙණුනි. සෞන්දර්යයෙන් යුත් පරිසරයක වීමට සිතැඟි සමථ කිරීමෙහි ලා කොතරම් උපයෝගි වන්නක් ද? කඩයකට, සාප්පුවකට ගිය ද බොජුන් හලකට අවන්හලකට ගිය ද සීරුවට නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්‍රියෝ පිබිදෙති. යන්ත‍්‍රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයකට වුව ද ඔවුහු රසයක් ඇතුළත් කරති’’
(මළගිය ඇත්තෝ නවකතාව- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)

උක්ත ඡේදය පමණක් නොව මළගිය ඇත්තෝ නවකතාවේ එන දෙවෙන්දොරා සංගේ චරිතය සියුම්ව නිරීක්ෂණය කිරීමේ දී එම චරිතයේ ඇති සංවේදීත්වය හා කලාකාමීත්වය සියයට සියයක් ම ඒ අයුරින් ම නොවුන ද යම්තාක් මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ චරිතාංගයන් සමඟින් සමපාත වන්නේ යැයි සරච්චන්ද්‍රයන් ගේ චරිතය හා ඔහුගේ අනෙකුත් සාහිත්‍යය නිර්මාණ හැදෑරූවන් තුළ සිතුවිල්ලක් ඇති විය හැකිය. මන්ද දෙවෙන්දොරාගේ කලාකාමීත්වය පේ‍්‍රමය දාර්ශනික තලයක තබා විඳ ගැනීම ආදී කරුණු පැහැදිලිව ම එහි රචකයාගේ ජීවන දෘෂ්ටීන් වීම බොහෝ දුරට සිදුවිය හැකි හෙයිනි.

පේ‍්‍රමයේ අව්‍යාජ නිකලැල් විඳ ගැනීම පිළිබඳ මළගිය ඇත්තෝ නවකතාවේ එක් තැනක දක්වා ඇති මෙම පහත ඡේදය පැහැදිලිව ම පේ‍්‍රමයේ එක් දාර්ශනික තලයක් පාඨක ශ‍්‍රාවකයාට සම්මුඛ නොකරන්නේ ද?
‘‘අප තම තමන්ගේ සිත් සතන්හි කිමිදී සිටියා මිස කිසිවක් කතා බහ කළේ නැත. එබදු වෙලාවන් හි ස්වල්ප මොහොතක වුව ද මා සිතින් ස්පර්ශ කරන සුවය, යෝගීන් කියන අන්‍ය වේදයන්ගෙන් කිළිටි නො වූ නිර්මල ආස්වාදයට සමාන යැයි මට සිතේ’’
(මළගිය ඇත්තෝ නවකතාව-  මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)


දෙවෙන්දොරා ගේ චරිතය පමණක් නොව නොරිකෝ ගේ චරිතයද සැබැවින්ම ජපන් රට තුළ ජීවත් වූ චරිතයක් ද යන පැනය පවා නිරන්තරයෙන් සිතට නැගෙන්නේ සරච්චන්ද්‍රයන් එක්තරා කාලයක් ජපානයේ විසූ බැවිනි. නොරිකෝ යනු සැබැවින් ම එහිදී ඔහුට හමුවූ යුවතියක් දැයි සිතට පැනයක් නැගෙන්නේ එනිසාය.

මේ අනුව දෙවෙන්දොරාගේ චරිතය කෙරෙහි සරත්චන්ද්‍රයන්ගේ සැබෑ ජීවිතයේ සෙවණැල්ල වැටී ඇත් ද යන්න පිළිබඳ මෙන් ම නොරිකෝ යනු සත්‍ය වශයෙන් ම සරත්චන්ද්‍රයන් එදවස ජපානයේ දී දැන උන් සැබෑ චරිතයක් ද යනුවෙන් එදා මෙදා තුර උක්ත නිර්මාණය කියවන විචාරය කරන බොහෝ පාඨකයන් විචාරකයන් විසින් විමසන පැනයට සරච්චන්ද්‍රයන් විසින් සිය ස්ව්‍යං ලිඛිත චරිතාපදානය වන පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ මෙසේ පිළිතුරු දක්වා ඇත.
‘‘මළගිය ඇත්තෝ නවකතාවට ඇසුරු කර ගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වශයෙන් චිකමත්සු නම් ජපන් නාට්‍යකරුවා කළ ප‍්‍රකාශයක් මතක්කර දෙනු කැමැත්තෙමි. සාහිත්‍යය වනාහී සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අන්යත ප‍්‍රදේශයකට අයත් වේ යි ඔහු කීවේය. කෙනෙකු තමාගේ අත්දැකීමක් ඒ අයුරින් ම විස්තර කළ හොත් එය සාහිත්‍ය කෘතියක් නො ව වාර්තාවක් වන්නේ ය. හුදු කල්පිතයක් නම් එහි වැදගැන්මක් නැත. අපි ඊට කෙප්ප යැයි කියමු. සාහිත්‍යයෙන් ජීවිත විවරණයක් සිදුවේයැයි කියන්නේ එහි කිසියම් සත්‍ය අත්දැකීමක් ගැබ්ව ඇති බැවිනි.

කිසියම් කතුවරයෙකු නවකතාවක් හෝ කෙටිකතාවක් ලියූ විට අසවලා කවුද, අසවලා කවුද, කියා දැනැගැනීමට පාඨකයෝ මහත් කුතුහලයක් දක්වති. ඔවුන් මෙසේ සොයන්නේ නවකතාව හුදු කල්පිතයක් නොවන බව දන්නා බැවිනි. තම කථාව කල්පිතයක් යැයි බොරු නම් ගම් ආදිය යෙදීමෙන් කතුවරයා පෙන්වන්නට වෑයම් කරන නමුත් ඊට ඇතුළත් සිදුවීම් හා පුද්ගලයන් සැබෑ යැයි පාඨකයෝ සිතති.

එහෙත් මෙතැනදී පාඨකයා මුලාවේ වැටෙන්නට ඉඩ තිබේ. නවකතා කරුවා චරිතයක් මවන්නේ කිසියම් සැබෑ පුද්ගලයෙකු ආශ‍්‍රය කොටගෙන වුව ද ඔහු තෝරා ගන්නේ ඒ පුද්ගලයාගේ චරිතයෙන් එක් අංශයක් පමණක් විය හැකිය. එසේත් නැතහොත් ඒ පුද්ගලයාගේ චරිතයේ අංශ කිහිපයක් තෝරා ඔහු විසින් අමුතුම චරිතයක් මවනවා විය හැකිය. තවත් දෙයක් සිදුවන්ට පුලූවන.  එනම් කතුවරයාගේ මනසේ උපන් කිසියම් කල්පිත චරිතයක් ඔහු ඒ සැබෑ චරිතය මත ආරෝපණය කරන්නට පුලූවන.

ඒ කියන්නේ මා දකින නොරිකෝ ඇගේ මව්පිය දෙදෙනා දකින නොරිකො වත් ඇගේ මිතුරියන් දකින නොරිකොවත්, ඇගේ සහෝදරයා දකින නොරිකොවත් නො ව අමුතුම කෙනෙකි. එබැවින් එය මායා රූපයක් විය හැකිය.

ඇත්ත වශයෙන් කියතොත් මා විසින් නිර්මාණය කරන ලද නොරිකො චරිතය මා හැඳින සිටි ජපන් ස්ත‍්‍රීන් දෙදෙනෙකු ඇසුරින් ගොඩනඟන ලද්දකි. ’’
(පිං ඇති සරසවි වරමක් දෙන්නේ- මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍ර)



මේ සියල් කරුණු අනුව අපට අවසානයේ දී කියන්නට මෙන්ම අසන්නට ද සිදුවන්නේ ද සරත්චන්ද්‍රයන් පවසන චිකමත්සුගේ අදහස ඇසුරෙන් ම අප තුළ ඇතිවෙන පැණයකි.

‘‘ සාහිත්‍යය වනාහී සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අන්යත ප‍්‍රදේශයකට අයත් වූවක් ම නොවේ ද? 

ගයාන් අබේසිංහ

2 comments: