Tuesday, September 12, 2017

අම්මා නුඹ යි මුලූ ලෝකෙ ම සනසවන




පුර හඳත් කලාවෙන් කලාවට බැහැල යනවා. අවුරුදු ගානක් ඉඳලා ම දවස ගානෙ හඳ කලාවෙන් කලාව පිරිලා පුරහඳ වෙන එකයි කලාවෙන් කලාවට අඩුවෙමින් ගිහිල්ලා අමාවක වෙන එකයි දකින බලන එක මගේ ජීවිතේ පුරුද්දක් වෙලා. ඒක පුරුද්දක් ම නෙවෙයි, දවල් දවසෙ තිබ්බ වැඩ රාජකාරි සියල්ල ම කෙළවර සොබා දහම විතරක් නෙවෙයි ජීවිතෙත් විඳින්න ඉඩපාඩු ලැබෙන සුන්දර ම වෙලාව තමයි මහ රැුය.  ඒ  නිසා මම මහ රැයට ආදරේ කරනවා.  අන්ධකාර අහස යට දිලිහෙන රූ  බදුල්ලන්ගේ එළි සිය දහස් ගණන් මට ඒ වින්දනයට පාර පෙන්වනවා.  පුරහඳ පෑයුව රාත‍්‍රිවල නම් හඳ එළියෙන් පාට ඉල්ලගෙන දිලිහෙන පබලූ මුතු කැට වගේ පිනි කැට මේ සොබා දහමේ සුන්දරත්වය කොයිතරම් නම් අපිට කියාදෙනවා ද? ඊයෙ ගෙවුනෙත් ඒ වගේ රැයක්. පෝයට පස්සෙ දවසක් උනත් මහ වැහි වලා අස්සෙ හද හැංගිලා.  මං ඒ අදුරු අහසට පහළින් දිලිහෙන පුංචි කණාමැදිරි එළිදිහා බලන් උන්නා’ මට මතක් වුණේ පුංචි ම කාලේ සීය මට කියා දුන්න කතන්දරයක්.

‘‘කනාමැදිරියෝ කියන්නේ මහ පොළොවෙ පායන තාරකා.  මිනිස්සුන්ට තරු එළිය දෙනවා වගේ අන්ධකාරෙ යන එන සතා සීපාවට මග කියන්න කණාමැදිරියන්ට පුලූවන්’’ සීයා ඉස්සර කියුවෙ එහෙම. ඒකෙ ඇත්ත නැත්ත හොයනවාට වඩා ඒ කතාවෙ ගැඹුරක් තියෙනව නේද කියලා මට හිතුනා.  ඒ තමයි අපි හැමෝට ම හැම වෙලාවෙම නැතත් කොයි වෙලාවක හරි ජීවිතේ මග පෙන්වන්න බොහෝ අය අවශ්‍ය වෙනවා නේද කියන එක. ඇත්ත පුංචි කාලෙ අපි ඉපදුන දොහේ පටන් ම අද වෙනකල් අපිට ජීවිතේ කොයිතරම් නම් දෙනෙක් මග නොමග කියා දෙන්න ඇද්ද. සමහරු කොන්දේසි සහිතව අපේ ජීවිතවලදි උපකාර කරනවා.  සමරු කොන්දේසි රහිතව අපිට උපකාර කරනවා.  ඒ හැමෝම අතරෙ කොන්දේසි විරහිතව ආදරෙන් අපි සනහන ජීවිතේ කියාදෙන සුන්දර ම කෙනා මට මතක් වෙනවා.

‘‘අම්මා
මට මල් සුවඳක් වේවා
උපදින සංසාරේ
රන් මිණි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ’’


සත්තකින් ම, අම්මා තරම් සුවඳවත් වෙන මලක් කොහිද? එහෙත් සුවඳවත් ඒ මල” අරලියා මලක” සමන් පිච්ච මලක හෝ ලොව වෙන කිසිදු මලක සුවඳ නම් නොදෙයි. සැබැවින් ම සේකරයන් කියුවා සේ අම්මා නමක් නොමැති සුදුපාට පුංචි මලක් ම ය. එහි සුවඳ අසමසම ය. අන්දකාර තරු පිරි අහස අතරින් මට මගේ අම්මා මැවී පෙනෙයි. මට මගේ කුඩා විය සිහිවෙයි. අතීතයේ ම වූ සුන්දර දවස්වල අම්මා ගේ අතින් ඇඳටම පැමිණෙන කිරි වීදුරුව සම්පූර්ණයෙන් ම පානය නොකළ යුගයක් මට ඇත. ළපටි ම කාලය ද ඉක්මගොස් පාසලේ අට නමය ශ්‍රේණිවල ඉන්නා කල්හි පවා මගේ උදෑසන කිරි වීදුරුවේ කොටහක් මම ඉතුරු කර තැබුවෙමි. ඒ අම්මාට ය.

කාලය ගෙවීයත් ම මගේ වැනි ම පුරුදු ඇති පුංචි උන් මට හමුවෙයි.  ඉෂාන් හිටියේ මගේ පන්තියේ ය. හැමදාම පන්ති ඇරි ගෙදරයන අතර මග පන්තිය ආසන්නයේ ම කඩයකට ඉෂාන් ගොඩවෙනු මම අනන්තවත් දැක ඇත. දිනක් ඉෂාන් කඩයට ගොඩ වෙන විට මම ද ඒ පසුපස වීමි. ඔහු අරගන්තේ රුපියල් පහේ අයිස් පැකට් දෙකකි. ඒ ඉෂාන් ගේ හැමදාම මිලදී ගනු ලැබුම බව මා පසුව දැන ගත්තේ කඩ හිමියාගෙන. ‘‘අයිස් දෙකක් මොකෝ කොල්ලො’’ මම පිටුපසින් විත් හිසට තට්ටුවක් දමා සිනාසෙමින් ඇසුවා අද සේ ම මතකය. ‘‘එකක් මට අනික අම්මට’’ ඒ පොඩි එකාගේ හුරතල් උත්තරයයි. ‘‘හරි පුදුම ළමයෙක් සර්” හැමදාම පන්ති තියෙන දවසට අයිස් දෙකක් ගන්නවා. මමත් කීප සැරයක් ම ඇහුවා. ඒ හැම වතාවක ම කියුවෙ ඔය උත්තරේමයි.‘‘ එකක් මට අනික අම්මට‘‘. අම්මාට ඒ තරම් ආදරේ කළ ඉෂාන් ගේ අම්මා පසුකළෙක පිළිකාවකින් මියගිය බව මා දැන ගත්තේ මෑතකය.

‘‘ ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා... අම්මා...’’
(පද- සුනිල් ආරියරත්න)

‘‘ළමයෝ’’ නුවර හොඳ ක්ලාස් තියෙනවා. යන්න එහෙ ගිහින් ඒ ලෙවල් කරන්න’’ සකුන්තලා මගේ ඉදිරියේ උන් දවසක මම ඇයට කියුවේ එහෙමය. සකුන්තලා මගේ පන්තියට ආවේ විභාගය ආසන්නයේ ය. එහෙත් මම ඇයට ඉගැන්වීමි. දෑ වසරක දැනුම සතියෙන් දෙකෙන් ගලපන්න බැරි වග මා මෙන් ම ඇය ද දැන උන්නා වන්නට ඇත. විභාගයෙන් පසු දවසක යළිත් වරක් විභාගය සඳහා සූදානම් විය යුතු බව ඇය ම කියුවේ එනිසා විය හැකිය. එසේ පැවසූ මොහොතක මම ඇයට නුවර පන්ති යන්නැයි කියුවෙම.එහෙත් ඇස් ලොකු කරගෙන ඇය කිවුදේ මට අද ද මතකය. ‘‘බෑ... බෑ... ගෙදරින් පිට නම් ගිහින් නැවතිලා ඉන්න මට බැහැ’’ ඇය කියුවේ එහෙමය. මම නිරුත්තර වුණෙමි. අවුරුදු දහ නමයක කෙල්ලෙක් කතා කරන්නේ අවුරුදු අටක නමයක දැරියක් ලෙසින් ය. මගේ ජීවිතයේ මට හමුවූ සමහරු දරුවන් හොස්ටල් බෝඩිම්වල ජීවත් වන්නේ හයේ පන්තියේ සිටය. එහෙම දරුවන් සිටින රටක සකුන්තලා ගෙදරින් දුර ඉන්න බෑ කීම පුදුමයකි. කාරණය සැබෑවක් බව ඊට පසුදිනෙක ඇගේ මිතුරියක් මට කියුවා අදවගේ මතකය. ‘‘එයාගෙ තාත්තා නැහැ සර්... පුංචි කාලෙ ඉඳන්ම අයියායි අම්මායි එයාට ගොඩාක් ආදරෙයි. එයාට ඒ දෙන්නා නැතිව එක දවසක්වත් ගෙදරින් පිට ඉන්න බැහැ’’

‘‘සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැක දරුවෙකු හට
මවක් සේ ලැදී
අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ
අකුරු මට මදී ’’
(පද- හේමසිරි ද අල්විස්)


අම්මා ගැන කොයිතරම් නම් දේ ලිවිය හැකිද? එහෙත් මොනවා කොයිතරම් ලියුවත් ඇගේ ගුණ කියා නිම කළ නොහැක. පසුගිය දිනෙක මව්වරුන් ගේ දිනය සැමරුනු රටක මම ඔබෙන් පැනයක් අසමි. ඇත්තට ම ඔයා අම්මාට කොයිතරම් ආදරේ ද? ඔය පැනය මා මගෙන් අසන හැම වරෙක ම මා නිරුත්තර වූවා සේ ම ඔබ ද නිරුත්තර වන බව මම දනිමි’

ගයාන් අබේසිංහ

Tuesday, September 5, 2017

කලා රසවින්දනයට මග පෙන්වන බුද්ධ දර්ශනය


‘‘යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ
සබ්බෙව භුතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුණන්තු භාසිතං’’

එදා විසාලාවෙහි අමනුෂ්‍ය, දුර්භික්ෂ හා රෝග බිය පැතිර ගිය අවදියේ, එවන් වූ තුන් බියෙන් විසාලාවෙහි මිනිස් ප‍්‍රාණයෝ නිරුද්ධව වීදියක් වීදියක් පාසා මළකඳන් කඳු සේ ම ගොඩගැසෙන අවදියේ, ලිච්ඡුවි රජදරුවන් මේ තුන්බියෙන් විශාලා මහනුවර රැුක දෙන මෙන් ඉල්ලා සිටිකළ බුදුන් වහන්සේ එ’නුවර ට වැඩ අනඳ හිමි කැඳවා ‘‘යංකිච්චි චිත්තං ඉධවා හුරං වා...’’ ආදි ලෙසින් රතන සූතුර උගන්වා පිවිතුරු අහස්දිය පාත‍්‍රයට පුරවා මුලූ විසාලාවට ම ඉසින්නට යැයි නියම කළහ. රතන සුතුර සවන් වැකි සිත් බිඳුණු සිත් රිදුනු ජීවිත ආශයන් පවා මියැදුනු විසාලාවෙහි වැසියෝ සංතෘෂ්ටියට පත්වූහ. ඒ සුගේය හඬ, ඒ සුරම්‍ය විරිත ඉදින් සාහිත්‍යයක උරුව බුදු දහමට ඇතැයි පවසන්නට කදිම සාක්ෂියක් ම වන්නේ ය.

සෞන්දර්යය ඇගයීම හා කලාව විඳීම පිළිබඳ බුදු දහමේ කෙරෙන ඉගැන්වීම තරම් රමණීය ඉගැන්වීමක් ලොව කිසිදු ආගමක නො ඉගැන්වෙන බැව් නම් සැබෑවක් ම ය. සෞන්දර්ය විඳීම යනු කාමාශක්ත හැඟීමකැයි පවසන බොහෝ අන්ධානුගාමිකයෝ බුදුදහම විකෘති කරන යුගයක සැබැවින් ම අපට බුද්ධ වචනය පිළිබඳ විශ්වාස තබා කටයුතු කරන්නට ත‍්‍රිපිටක සාහිත්‍යයේ එන යම් යම් කරුණු මහෝපකාරි වෙයි.

‘‘නථෙ කාමා යානි චිත‍්‍රානි ලෝකේ
සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨංති තතේව චිත‍්‍රානි ලෝකේ
අතේථ ධිරා විනයන්ති ඡුන්දං...’’
(සංයුක්ත නිකාය) 

කාමය යනු සොඳුරු බව නොවන වග උන්වහන්සේ එලෙසින් දේශනා කළහ. සුන්දරත්වය වින්දනය හා කාමය යනු එකක් නොව දෙකකි. කාමය යනු මිනිස් සන්තානයක ඇතිවන පහත් හැඟීමක් පමණි. නමුත් සෞන්දර්ය වින්දනය එසේ නොවෙයි. එය උසස් උතුම් විඳුමකි. මහරහතුන් වැනි බුද්ධිමතුනට ඒ සුන්දරත්වය කාමාශක්ත හැඟුමකින් තොරව විඳගත හැකිය. එයයි සෞන්දර්යේ සැබෑ වින්දනය. භාහිර පරිසරයේ ඇති සුන්දරත්වය සැමදා පවතියි. වෙනස ඇත්තේ එය විඳින්නාගේ ය. ඒ සෞන්දර්යය කාම රාගයෙන් විඳින්නෝ ද ඒ සුන්දරත්වය උත්තම වූ පාරිශුද්ධ හැඟුමකින් විඳින්නෝ ද අපමණය. ඉදින් සෞන්දර්ය වින්දනය පිළිබඳ බුදුන් වහන්සේ වදහලේ එපරිද්දෙන් ය.

ඒ සුන්දරත්වය උසස් මානසිකත්වයකින් වින්දනය කළ අය පිළිබඳව ද දේශනා ත‍්‍රිපිටක සාහිත්‍යයේ ම හමුවෙයි. ථෙිර ගාථා එයට කදිම නිදසුනක් ලෙසින් ගෙනහැර පෑ හැකි ය. වනගතව බවුන් වඩන රහතන් වහන්සේ ලා ට නිරන්තරව විඳිනට සිදුවන්නේ වනගත පරිසරයේ ඇති සොබා චමත්කාරය යි. ඇලීම් බැඳීම් වලින් ඈත්වන්නට උගන්වන දහමක් වන බුදුදහම අනුව යන මහරහතන් වහන්සේලාට වනගත පරිසරයේ විචිත‍්‍ර චමත්කාරය විඳින්නට කිසිදු කළෙක බුදුදහමෙන් තහනමක් පැණනැගුනේ නැත. මන්ද විඳීම කාමාශක්තව රාගිකව නොවෙයි නම් ඒ විරාගී වින්දනය සැබෑම වින්දනයක් ලෙසින් බුදුදහමෙහි සඳහන් ව ඇත. මහරහතන් වහන්සේලා රාගය කාමය දුරු කළ අය වූ බැවින් ඔවුන්ගේ වින්දනය සරාගී කාමච්ඡුන්ද වින්දනයක් නොවුණ අතර ඒ වින්දනය විතරාගී වින්දනයක් ම විය. එබැවින් ථෙිර ගාථාවන්හි සඳහන් වන සෞන්දර්ය චමත්කාරය විඳීමේ බොහෝ කවි තුළින් මතු වන්නේ එම විතරාගී බවම වන්නේ ය.

සප්පක තෙරුන් ද බවුන් වඩන හිමි නමකි. වැසිබර මොහොතක් ආසන්න වන කල්හි පරිසරය වෙනස් වෙයි. අජකරණී නදී තෙර සප්පක තෙරුන් වැඩ සිටින මොහොතක ද වැසි වලාවෝ දසතින් හමා එයි. පරිසරයේ ඇත්තේ අමුතු සිරියකි. එහෙත් කෙකින්නක් ඒ වැහි සොබා දැක බියපත් ය. සප්පක හිමි මේ සියලූ චමත්කාරයෝ ප‍්‍රඥා භරිත දෑසින් විඳගනියි. ථෙිර ගාථාවන්හි ඒ කරුණ මෙලෙසින් අපූර්ව ව දැක්වෙයි.

‘‘සුදු පියාපත් ඇති කෙකිණි
දැක කළු මේ කුළක්
තැති ගත්ති බියෙන්
සොයන්නී සැඟවෙන තැන්
නොරැුඳෙයි පලා යයි

මෙවන් අසිරි ඇති
නදිය අජකරණී
තුටු කරයි මා සිත
වේය එය අතිරමණී’’

මෙම ගාථා පාඨයන් ඇසීමෙන් විඳීමෙන් අද්‍යතන පාඨක ශ‍්‍රාවකයන් ට වුව ජනනය වන්නේ සුඛාස්වාදයකි. එය විරාගික වූ ධාර්මික ප‍්‍රීති සුඛයක් ලෙසින් විඳගත හැකිය. අනෙක් අතට මෙම සොබා සොඳුරු සිරි අසිරිය විඳීම සසරට බාදාවක් වන්නේ ද නැති වග බුදුදහමෙන් සාක්ෂි සහිතවම ගෙනහැර පා ඇත. ආපදාන පාලියේ එක් තැනෙක විස්තර වන්නේ පිපී ගිය මලින් බරවූ ගසක් දැක බුද්ධාලම්භන ප‍්‍රීතියට පත් වූ බුද්ධ ශ‍්‍රාවකයෙක් මාර්ග ඵල පවා අවබෝධකර ගත් බවයි. බුදුන් වහන්සේ පවා පරිසර සුන්දරත්වය විඳිම පිළිකුලින් බැහැර නොකළ අතර වරක් ආනන්ද හිමි අමතා කළ ප‍්‍රකාශයෙන් ඒ වග තහවුරු වෙයි.



‘‘... රමණීයං ආනන්ද වේසාලිං, රමණීයං උදේන චේතියං, රමණීයං ගෝතම්භචේතියං, රමණීයං සත්ත්ම්භ චේතියං, රමණීයං බහුපුත්ත චේතියං, රමණීයං චාපාල චේතියං...’’

බුදුන් වහන්සේ බොහෝ වරෙක දහම් දෙසුවේ ද පරිසරයේ සිටය. ඉසිපතනයේ මිගදායේ ඇරඹූ පළමු දේශනාව ම එයට කදිම සාක්ෂියකි. ඒ සියල්ල විඳගැනීම් ය. කලාව විඳින්නට කරන මග පෙන්වීම්ය. එබැවින් බුදු දහම සෞන්දර්යය සේ ම සාහිත්‍යය කලාවන් විඳීමට ද සැබෑ ප‍්‍රඥාවන්ත මගපෙන්වීමක් සිදුකර ඇත. බුදුන්ගේ නිමල නිර්මල ධර්මය අනුගත ත‍්‍රිපිටකය තුළ පවා සාහිත්‍යය මය ලක්ෂණ අන්තර්ගතව ඇති ආකාරය දෘෂ්‍ය වීමෙන් ඒ කරුණ තහවුරු වෙයි.

පාලියෙන් භාෂිත බුදු දහම පුරා දක්නට ඇත්තේ ගාථාවන් ය. එම ගාථාවන් කවි ලෙසින් පැවැසීමෙහි ද සදොසක් නොමැතිය. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්ධක නිකාය වැනි ග‍්‍රන්ථයන් හි එන බොහෝ දේශනා ගද්‍යයෙන් නිර්මිත වුවත් සංයුක්තයේ දී එය ආකාර දෙකක් ගනියි. ඒ ගද්‍ය හා පද්‍ය යන දෙවර්ගයෙන් ම නිර්මිත වෙමින් ය. ඛුද්ධක පාඨ, ධම්මපදය, උදාන, ථෙිර ථෙිරි ගාථා, ආදිය පද්‍යයේ සුන්දර සාහිත්‍යමය ලක්ෂණ විද්‍යමාන කරයි. විනය සහ අභිධර්ම පිටකය හි වුව යම් යම් තැන්වල එවන් ලක්ෂණ දැකිය හැකිය. මෙම බොහෝ ගාථා පාඨ විරිතකට අනුව ගායනාවන සුඛනම්‍ය ලාලිත්‍යයකින් යුක්ත වන ආකරයක් නිරන්තර බුදුදහම අත්විඳින්නෝ වන බොහෝ දෙනාට නොරහසකි.

සාහිත්‍යය කලා මාධ්‍යක් ලෙසින් අද්‍යතනයේ දීර්ග මගක පැමිණ ඇති කවිය ගීතය ආදිය පිළිබඳව පවා බුදුන් වහන්සේ දේශනා කර ඇත. මහාසාල නම් බ‍්‍රාහ්මනයෙකුට බුදුන් වහන්සේ වරක් කවි තුනක් ඉගැන්වූ බව මහාසාල සූත‍්‍රයේ සඳහන් වෙයි. එපමණක් නොව ලොව සිටින කවියන් පිළිබඳ ව පවා බුදුන් වහන්සේ පැහැදිලි කිරීමක් කර ඇත. ඒ බව කවි සූත‍්‍රයේ අන්තර්ගත ය.

01 චින්තා කවි
සිතා මතා වෙහෙසෙව නොයෙක් නොයෙක් දෑ පිළිබඳ ව කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නෝ. ඔවුන් සිය චින්තනය මෙහෙයවමින් කාව්‍ය කරණයේ නිරත වෙයි.

02 සුත කවි
යම් යම් දේ අනුන්ගෙන් අසා ඒවායෙන් කාව්‍ය නිර්මාණයේ යෙදෙන්නෝ මෙසේ හැඳින්වෙයි.

03 අත්ථ කවි
කිසියම් එක් අර්ථයක් සළකා කවි කරන්නෝ මෙසේ හැඳින්වෙයි.
04 පටිභාන කවි
වැටහෙන නුවණින් කවි කරන්නෝ මෙසේ හැඳින්වෙයි. එනම් තමන් තුළ ම ඇති යථාවබෝධයෙන් කවි කරන්නෝ ඔවුන් ය.
කවියන් පිළිබඳ අදහස් දක්වන බුදුන් වහන්සේ කාව්‍ය වින්දනය ද ප‍්‍රශංසාවට ලක්කර ඇති බැව් සූත‍්‍ර දේශනා මගින් හඳුනා ගත හැකිය. වරක් බුදුන් වහන්සේ ඉදිරියෙහි සුත්ත නිපාතයේ ඇති සූත‍්‍ර සොළොසක් මිහිරිලෙස ගායනා කළ සෝණකුටිකණ්ණා නම් හිමිනමක් ප‍්‍රශංසාවට ලක් වූ බවක් අසන්නට ලැබෙයි. කාව්‍ය ගායනය පිළිබඳව පවා වින්දනාත්මක ඇසකින් බලන බුදු හිමි කාව්‍ය සාහිත්‍ය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් පැවැතුණු අයෙක් බැව් උක්ත කරුණු ඇසුරින් පැහැදිලිව ම හඳුනාගත හැකිය. එබැවින් බුදු දහම තුළ පවා සාහිත්‍යය කෙරෙහි වැඩි නැඹුරුතාවක් පැවතී ඇතැයි හඳුනාගත හැකිය.



දීඝනිකායේ සක්කපණ්හ සූත‍්‍රයේ දී පංචසික නම් වීනා වාදකයාගේ වීනා වාදනය කෙරෙහි පැහැදුනු බුදුන් වහන්සේ ඒ පිළිබඳව කතාකර ඇති ආකාරය දැකිය හැකිවෙයි. එහි අන්තර්ගත වූයේ පංචසික ගේ පේ‍්‍රමවන්තිය වූ සූරියවච්චසා පිළිබඳ වර්ණනාවක් ය.

‘‘සොඳුරිය සූරියවච්ඡුසාවෙනි,
මා හද පිණවීමට ඔබ ව මෙලොව බිහිකළ
ඔබ දයාබර පියාණන් තිම්බරු
මම බැතියෙන් වඳිමි

දහදියෙන් තෙමුනකුට මද පවනක් සෙයින් ද
පිපාසාවෙන් පෙළෙනකුට දිය පොදක් මෙන් ද
මහ රහතුන් ට ධර්මය මෙන් ද
සොඳුරිය ඔබ මට ප‍්‍රිය ය

රෝගියෙකුට බෙහෙතක් මෙන් ද
බඩසයින් පීඩිතයෙකුට අහරක් සෙයින් ද
ජලයට ගින්න මෙන් ද
සොඳුර මා හද ගිනි නිවන්න

මල් පෙති රොන් සුණු අතුල
සිහිල් දියෙන් යුතු පොකුණක
ග‍්‍රීස්මයෙන් පෙළුණු ඇතකු ගිලෙන සේ
ඔබ පියයුරු අතර ගිලෙමි මම
ඔබ වටොරින් මුලා වූ මම
මත් වූ ඇතකු මෙන්
හසරක් නොදකිමි’’

බුදුන් වහන්සේ මෙම පංචසික ගේ වෙණ වාදනය සේ ම ගායනය දැක සන්තෘෂ්ටියට පත්ව ගායනයට උචිත වාදනයක් වාදනයට උචිත ගායනයත් වඩා ප‍්‍රියංකර බව පසසා ඇත. එමතු නොව ඒ ගීතය තුළ බුද්ධ ධම්ම අරහත් යන අංගයන් ද කාමය ද ඇතිවග පවසා ඇත. මේ අයුරින් වුව ද ඒ තුළින් මනස අවුල් කර නොගෙන කාමාශක්තව එය නොවිඳ ප‍්‍රීති සුඛයෙන් එය විඳින්නට මගපෙන්වා ඇත.

බුදු දහම යනු සාහිත්‍ය කලාවට මෙන් ම සාහිත්‍ය කලා රසවින්දනයට ද අපමණ ව මග පෙන්වා දුන් ආගමක් බැව් පැවසීමට මෙයට වඩා තව කවර නම් සාක්ෂියක් අවැසි වේද?


@ ගයාන් අබේසිංහ

Sunday, September 3, 2017

අමරලා සාමාලා මෙන් ම පාතිමාලා සෙල්වාලා ද මගේ පන්තියේ ඇත.



පාන්දර එළඹ ඇත. අහස තිගැස්සෙන පාටක් හෝ ඉකිබිඳින පාටක් නැත. පාන්දර පවා උණුසුම්ය. හරියට ම ඒවා ද මතක මෙන් ය. මතකද ඇත්තේ සීතල ම ගමන්මගක පවා උණුහුමට ය. මම ජංගමයට පෙර දා රැුයේ පැමිණි කෙටි පණිවිඩය යළිත් කියැවීමි.

‘‘රාගව් ගේ තාත්තා නැතිවුණා. පණිවිඬේ කියන්න ඔයාට කෝල්කරා. පෝන් එක වැඩ කරේ නෑ. අපි මළගෙදර ආවා. රාගව් හිතුවෙ ඔයත් ඒවි කියලා’’

ඒ මීට වසර කිහිපයකට පෙර අතීතයකි. යුද්ධයෙන් පසු මණ්ඩූර් දේවාලයේ පළමු වන පෙරහැර පැවැත්වූ දවස් ය. සිංහල අපි හින්දු කෝවිලේ පෙරහැර බලන්නට මණ්ඩූර් යන එන කාලය ය. එදා ද අපි උන්නේ දෙවොල් බිමේ ය. හදිසියේ පහත් වූ මහ විසල් වරුසාවට අපි සිංහල මිතුරෝ කිහිපදෙනා දිව ගොස් අසල තිබූ පියස්සක් යට නැවතුණෙමු. එතැන තවත් කිහිපදෙනෙකි. ඒ අතර රාගව් ද විය. ඒ යාපනේ මිතුරෝ ය. අපදත් කැඩුණු දෙමළත් ඔවුන්දත් කැඩුණු සිංහලත් එක්කර අපි සුන්දර භාෂාවක් නිර්මාණය කරගතිමු. එවක් පටන් අද දක්වාම රාගව් මගේ මතකයේ උන් සුන්දර මිතුරෙකි. යුධගිනි අවසන් රටක රාගව්ලා වැනි සුන්දර මිනිසුන් ජීවිත කාලය පුරාම සහස් ගණන් සුන්දර මතක කැන්දන වග නො දන්නා සිංහල ජාතිය උසස් යැයි කියන රටක මම රාගව්ගේ මිත‍්‍රත්වයේ භාෂාව අද ද හදවතින් වැළඳගමි.

‘‘සැඩ කුණාටුව අහවරයි දැන්
රැුගෙන ගිය උන් මහ ගොඩයි
කලපු දිය නිිසසලයි ආයෙත්
ඇවිත් යන්නට හිතුවෙ අපිමයි’’
(කපිල එම්. ගමගේ)

රාගව්ගේ මතක අතරින් මේ අහස් ගව්ව යට අමතක කළ නොහැකි බොහෝ මුහුණු මට සිහිවෙයි. ඉස්සර ම දවසක සිංහල කොල්ලන් රංචුවක් මැද මගෙන් අකුරු කළ ෆාසිත් මට සිහිවෙයි. ෆාසිත් කතා කළේ කැඩුණු සිංහල ය. ඒත් වෙනසක් නැති ව ම අනික් කොල්ලෝ රංචුව එක්ක දාංගලේ එමට ය. ෆාසිත් එක්ක ම පන්තියට ආ ගිය නිශ්ශබ්ද කොල්ලා මුෆීන් ය. මුෆීන් ට ද සිංහල යන්තමට හැකිය. මුල් දවස්වල මුෆීන් උන්නේ කතාවට බයේ ය. ඒ සිංහල වැරදීමත් ද්‍රවිඩයෙකු වීමත් සාපයක් සේ සිතා විය යුතුය. එහෙත් මම කෙමෙන් කෙමෙන් උන්ගේ ඒ බය නැති කළෙමි. දැන් මුෆීන් ගැන ආරංචියක් නැත. එහෙත් ෆාසිත් ටවුමේ හාඞ්වෙයාර් කඩයක හිමිකරුවෙකි. සිංහල කඩහිමියන් සමග සමගියෙන් ගණුදෙනුවේ ය. ෆාසිත් ලා ද මුෆීන් ලා ද මගේ පන්තියේ උන්නේ ත‍්‍රස්තවාදය ඔඩු දියුව කාලයක ය. එහෙත් හැම ද්‍රවිඩයෙක් ම ත‍්‍රස්තවාදියෙක් වූයේ නැත. ඒ නිසාම මගේ පන්තියට සෙල්වා ආ මුල් දවසේ මා ඔහුට ආදරෙන් ඇමතුවේ පුතේ කියා මිස ත‍්‍රස්තවාදියා කියා නොවෙයි. සෙල්වා දැන් උපාධිදාරියෙකි. වෙඩි හඬ ඇහෙන පන්තියේ අපි ආදරයේ භාෂාව උගත්තෙමු. ඒ දවස් වල අපි නිතර ඇසූ සුන්දර නමුදු වේදනාත්මක ගීය දීපිකා මිස් ගේ ය. තැන වෙනස් ය. චරිත ද වෙනස් ය. එහෙත් අත්දැකීම එක ම ය. 



‘‘ මාතොටින් එන උතුරු හුළෙඟ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝනියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක්කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පන්තියේ’’
(මහින්ද චන්ද්‍රසේකර)

මුෆීන් ලා ද ෆාසිත් ලා ද මුස්ලිම්ය. බොහෝ සිංහලයන් ට මුස්ලිම්වරු පෙනෙන්නේ තිරිසනුන්ටත් වැඩියෙන් අන්තගාමී ලෙසින් ය. එහෙත් මම උන්නේ ඒ සුන්දර දරුවන් සමඟින් ය. ෆාසිත් ලා සේ ම ෆාතිමා ද මට අමතක නොවෙයි. ෆාතිමා උන්නේ මගේ උසස් පෙළ පන්තියේ ය. ඇය ඇන්දේ සල්වාර්ය. රාමලාන් කාලෙ ට පුංචි කප්වල දමා ඇය හදාගෙනෙන වටලප්පන් කන්නට පන්තියේ අනෙක් සිංහල දරුවෝ මෙන් ම මම ද ආශා කළෙමි. ෆාතිමාට පෙම් කළ සිංහල කොල්ලෝ ද පන්තියේ උන් බව මම නොදැක්කා ම නොවේ.

‘‘මරතෝන්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිල් තිරෙන් වැසී රටා වැලපෙතේ
මූක්කු තෝන්ඩි තිරුවන්ගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා’’
(මහින්ද චන්ද්‍රසේකර)



ෆාතිමා මෙන් ම නිම්ෂා ද මගේ උසස් පෙළ පන්තියේ උන් තවත් සිසුවියකි. නිම්ෂා අද සුවහසක් දරුවන් ට අකුරු උගන්වන ගුරුවරියක් වන්නට ඉගෙන ගන්නීය. පන්තියේ අවසන් දවසේ නිම්ෂා ගීයක් ගැයුවා ය. ඒ ගීය අපට නොතේරුණි. එහෙත් නිම්ෂා ගීය අවසානයේ එහි අරුත් අපට සිංහලෙන් කියා දුන්නා ය.

‘‘අපි හැමෝ ම මිනිස්සු නම්, අපි හැමෝගෙන ලේ පැහැ රතු නම්, අපි හැමෝගෙම හදවත් එක වැනි නම් ඇයි මේ ඇණකොටා ගැනුම්, වැද භේද අසමගිකම්?’’ ඇය එදා එසේ ඇසූ ඒ පැනයම අද මම සමාජය වෙත දිගු කර බලා සිටිමි.

ලිවුවේ-   ගයාන් අබේසිංහ 
පින්තූර - අන්තර්ජාලයෙනි