Tuesday, November 21, 2017

යථාර්ථවාදී පේ‍්‍රමයට ඉඟි තබන දම්මි සුගත් පෙම් පුවත




ලාංකේය නවකතා ගමන් මග දෙස නැවත හැරී බලන කළ හැට හැත්තෑව දශකයන් හි දී වඩාත් විශාල වූ පේ‍්‍රක්ෂක ජනප‍්‍රසාදය දිනා ගත් නවකතා කරුවන් අතර කරුනාසේන ජයලත් නම් ඒ සුන්දර නවකතා කරුවාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ජයලතුන් අතින් බිහි වූ බොහෝමයක් නවකතාවන් හි එන චරිත අභව්‍ය චරිත නොව මේ මිනිස් පුරයේ අද ද දැකගත හැකි යථාර්ථවාදී චරිතයන් වන බැවින් ඔහුගේ නවකතා වලට මේ තරම් ජනවරමක් හිමිවන්නට ඇති බව බොහෝ විචාරකයන් පවසයි.

කරුණාසේන ජයලතුන් විසින් රචිත සුගත්ගේත් දම්මිගේත් කතාව වූ ගොලූහදවත එදවස හැට හැත්තෑව දශකයන් හි දී භද්‍රහෞවන මානවක මානවිකාවන්ගේ පේ‍්‍රමාන්විත ජීවිතයන්හි සංකේතයක් වූ බැව් නම් සැබෑවක්ම ය. පසුකලෙක හැට ගණන්වල අග භාගයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් මෙතෙක් අච්චු අකුරු ඔස්සේ සහෘද හදවතට සමීපස්ථ වූ එකී නවකතාව රූප මාධ්‍ය ඔස්සේ සිනමාත්මකව ආගමනය වීමත් සමඟින් සුගත් සහ දම්මි ජීවමානව නේත‍්‍ර අස ගැවසීම ඇරඹෙයි. එවක පටන් අද මේ දක්වා ම වරින් වර ගීතයන්ට පාදක වෙමින්ද වරින් වර නේක කතිකාවන්ට පාදක වෙමින් ද සුගත් හා දම්මි අප අතර වෙසෙයි.


‘‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා
පවුරු බැඳගෙන සිතක වැජැඹුනු රසවතී නෑ කොයි ගියා

ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි

මහා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැඟුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැලූම්

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි...’’

(පද- කරුණාසේන ජයලත්)

කෙසේ නමුත් සුගත් ගේ ද දම්මිගේ ද ඒ පෙම්පුරාවත එදා මෙන් ම අද ද තරුණ යැයි පැවසීමේ වරදක් නොමැති ය. ඒ ගොලූ හදවත වනාහී සුන්දර පේ‍්‍රම ගෙත්තමක්  වන නිසාවෙන් ම ය.
‘‘ළමා වියත් යොවුන් වියත් අතර මල් මෙන් පියකරු, කුරුල්ලන් මෙන් නිදහස් ජීවිතය රසබර ය, විචිත‍්‍රවත් ය, වර්ණවත් ය. මේ රසබර වූත් වර්ණවත් වූත් ජීවිතයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් ද අනුරාගයෙන් ද පෝෂිත වූ ළපටි සිතක පහළ වන රසවත් හැඟීම් මුලූ ජීවිත කාලයේ ම උපුටා දැමිය නොහැකි තරම් ශක්තිමත් ව හා ස්ථිර ව පැළපැදියම් වීම ස්වභාවික න්‍යායකි. ’’

ජයලතුන් ස්වකීය නිමැවුම අරඹන්නේ එලෙසින් ය. සැබැවින් ම සුගත් හා දමයන්ති අතර පැවැතුනේ පේ‍්‍රමයකි. ප‍්‍රකාශිත පේ‍්‍රමයට වඩා අප‍්‍රකාශිත පේ‍්‍රමය සුන්දර වග හදවතට තට්ටු කර විමසන කල්හි අප සෑම අයෙකුට ම දැනෙනු ඒකාන්තය. ඉදින් සිප් බිම පුරා කෙළිදෙළෙන් ගෙවෙන මේ හිරිමල් භද්‍ර යෞවනයේ පසුවූ සුගත් ගේ ද දම්මිගේ ද හදසන්තානයන් හි මිහිරෙන් පිරුණු ඒ ආනන්දනීය හැඟුම පේ‍්‍රමය ම ය. දෑසින් තැබූ ඉගියෙන් ඇරඹෙන එකී බැඳුම ලොවට ම රහසේ හදපුරා පෙම් ගීතිකාවෝ ලියා තබන්නේ ද යාලූ මිතුරු මිතුරියන්ගේ කෙළිකවටකමින් දිරි ලැබ පෝෂණය වන්නේ ද කොතරම් යථාර්ථවාදීව ද? එවන් පේ‍්‍රමයක අත්දැකීම් විඳ ඇති අයෙක් වෙත්නම් ජයලතුන් මවන මේ සුන්දර සිදුවීම් දාමයේ ඇලී ගැලී එය කියවන්නේ අතීත මතකයන් හි ප‍්‍රබෝධය ද හදෙහි රුවාගෙන ම ය.

සුගත් ගේ මුවින් ඔහු ඇයට එක් වර ම පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්නේ නැත. දම්මි ද එසේ ම ය. දෙදෙනා තුළ බැඳි පෙම දෙසිත තුළ ම අභ්‍යන්තරිකව පමණක් විකසිත වෙයි. දෑස් කතා කරයි. එහෙත් වදන් බවට පත් නොවෙයි. හැඟුම් සේනා මල්වරව සිත් පුරා දෝර ගලයි. එහෙත් පේ‍්‍රමය අප‍්‍රකාශිතව ම පසුවෙයි. වරින් වර වදනින් නොපැවසෙන මේ පේ‍්‍රමය පිළිබඳ රහසේ ම මෙන් සහෘදයාට ඉඟි කෙරෙයි. ආදරය උතුරා ගලා යන එවන්  සුන්දර අවස්ථා ගොලූහදවතේ ගොලූ නොවීම ගලා යයි.
‘‘ස්... ස්...’’
‘‘නැවතත් ඒ ශබ්දය නැගිණි. ශබ්දය පැමිණි දිශාව දැන් නිශ්චිතය. ඔහු කෙළින් ම දමයන්ති දෙස බැලූවේය. ඈ මිට මෙළවුණ දෙයක් ඔහු දෙසට දික් කරගෙන ‘‘ ඕනෑදැයි’’ ඇසුවා ය. ‘‘මොනවාදැ’’යි ඇසීමට තීරණය කිරීමට ඔහු අපොහොසත් විය. නැගිට ඇය වෙත ගිය ඔහු අත පෑවේ ය. ඈ වෙරළු ගෙඩි හතරක් පහක් ඔහුගේ අත්ල මත තැබුවාය. ඔහුට ඇඟිල්ලක සීතල ස්පර්ශයක් දැනී ගියේ ය.’’ 

ඒ ඔවුන් ගේ පේ‍්‍රමයයි. මුවින් නොතෙපලූ පේ‍්‍රමයයි. රාගයෙන් කිලිටි නොවූ පාරිශුද්ධ වූ හැඟීමයි. එහෙත් අවසන අප‍්‍රකාශිත බව බිඳෙයි. පේ‍්‍රමය ප‍්‍රකාශිත වෙයි. සුගත් දම්මිගෙන් පෙම අයැදියි. දම්මිගේ පිළිතුර සුගත් බලාපොරොත්තු වූවක් නොවෙයි.
‘‘අනේ සුගත් ඔයාව හම්බවෙන්නත් කලින් ඉඳලා ම මම වෙන කෙනෙක් ට ආදරය කරනවා...’’

සුගත් පසුවූ පේ‍්‍රමයේ සිහිනය බිඳ වැටී සී සී කඩව යයි. ඉදින් ඔහු අහිංසක පෙම්වතාගේ සිට මත්ලෝලී බේබද්දෙකු දක්වා රූපාන්තරණය වෙයි. සිහිනය සහ යථාර්ථය ඛණ්ඩනය කෙරෙන ඉසව්වක් ද සුඛාන්තයේ සහ දුඛාන්තයේ මායිම සලකුණු කරන ඉසව්වක් තුළදී ද සුගත් අසරණ වෙයි. එදවස සමකාලීන යුගයේ පේ‍්‍රමයෙන් පරාජිත වූවෝ ගණුලැබූ තීන්දු කිහිපයක් විය. එකක් යළි කිසිදිනෙක පෙම් නොකර සිටීමය. අනෙක මත්ලෝලියෙක් වී ම ය. එනිසා සුගත් සමකාලීන සමාජය තුළ ප‍්‍රතිබිම්බයක් සේ පෙනෙයි. 


දම්මි සුගත් ආදර අන්දරය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක් බැව් ජයලතුන්ගේ සමකාලීනයන් කිහිප දෙනෙක් කිහිප වරක් ම පවසා ඇති අයුරක් සිහිපත් වෙයි. අයෙක් පවසන පරිද්දෙන් එය හොරණ තක්ෂිලාව ඇසුරෙන් බිහි වූ සැබෑ කතාවක් පරිකල්පනයක් හා මුසුව නිමවී ඇති බවක් ය. ඒ කෙසේ කොයි ආකාරයෙන් වුවද අද ද අප අතර දම්මිලා ද සුගත් ලා ද ජීවමාන ව සිටීම නම් දැකිය හැකිය. එය එක් පසෙකින්  මේ නවකතාවෙහි ඇති යථාර්ථාවදී ස්වරූපයට ඉඟියක් තබනු නිසැක ය.
 
@ ගයාන් අබේසිංහ