යම් යම් බැදීම් සම්බන්ධව නැවත නැවතත් අපි අපිව ම සාධාරනයැයි තීන්දු කර ගන්න මොහොතක... බිදිය යුතු, පැවැතීමට අපහසු, යම් විටෙක සමාජ සම්මත විරෝධී කවර හෝ බැදීමක් අපි තවදුරටත් පවත්වාගෙන යාමේ අවිඥානික ආශාව විසින් අපිව අපිව ම සාධාරණීය කර ගන්න මොහොතක රවී සිරිවර්ධනයන්ගේ මේ පද රචනාව අහන්නට යැයි මම ඔබට යෝජනා කරනවා.
මේ ගමන මග නතර විය යුතුයි
නෙතු සොරොව් දොර බිඳී
සුසුම් සැඩ සුළි සැදී
මේ ගමන මග නතර විය යුතුයි..
සමහර අවස්ථාවල ජීවිතේ ඒ වගේ බැදීම් ඇති වෙනවා. ඒ බැදීම් දුර ගෙනියන්න බැහැ. සමහර අවස්ථාව ඇය වෙන අයෙකුගේ බිරිදක් හෝ පෙම්වතියක් විය හැකියි. සමහර අවස්ථාවක ඔහු පියෙක් සැමියෙක් හෝ පෙම්වතෙක් විය හැකියි. එහෙත්... හිතක ඇතිවන ස්නේහයකට බැදීමකට මොනම විදියකින්වත් මායිම් ගහන්න බැහැ. ඒ අපි තීරණ ගන්නෙ හදවතින් හිතලා මිස බුද්ධියෙන් කල්පනා කර නොවෙන හින්දා. කොහොම උනත් බුද්ධියෙන් හිතුවොත් ‘‘මේ ගමන මග නතර විය යුතු යි‘‘ කියලා දන්නවා. ඒත් හදවත ‘‘ඒ ගමනට මග නතර නොවිය යුතු යි‘‘ කියලා තීරනය කරනවා.
මට මතක් වෙන්නෙ ‘‘ඇන්ටන් චෙකෝප් ගේ ද ලේඩි විත් ඩෝග්‘‘ කියන කෙටි කතාව. ‘‘බල්ලා කැටුව ඇවිදින කාන්තාව‘‘ එහෙමයි ඒක පරිවර්තනය වෙන්නෙ. ඒ කතාවෙ ඉන්නවා ගුරොෆ් කියලා තිදරු පියෙක්. ඒ වගේ ම ඒ කතාවෙ ඉන්නවා ආන්නා කියලා විවාහක කාන්තාවක්. මේ දෙන්නම අයිති වෙන්නෙ වෙන වෙන ම පවුල් සංස්ථා දෙකකට. ඒ අයට තමන්ගෙ ම පවුල් වල වගකීම් තියෙනවා. බැදීම් තියෙනවා. ඒත් මොකද්දෝ ආත්මීය හුදෙකලාවක් මේ දෙන්නා අතරෙ තියෙනවා. දවසක් යාල්ටාවෙදි ගුරොෆ්ට ආන්යාව මුනගැහෙනවා. ඒ වෙද්දි ඔවුන් අදුරන්නෙ නැහැ. ඊට පස්සෙ ඔවුන් නැවත නැවතත් මුණ ගැහෙනවා. කතා බස් කරනවා. එකිනෙකාගේ ජීවිත හෙළිදරව් කරනවා. බැදීමක් ඇති වෙනවා. ප්රේමයක් දක්වා ඒ බැදීම වර්ධනය වෙනවා. ඒත්... පවත්නා සමාජ සම්මතය ඇතුළෙ ගත්තම ඒ බැදීම අනියම් අසම්මත බැදීමක්. නමුත් එකිනෙකාගේ ආත්මීය තත්ත්වයන් එක්ක ගත්තම සම්මත පවුල් බැදීමටත් වඩා ආන්යාගේත් ගුරොෆ්ගේත් බැදීම ප්රභලයි.
ඒ සම්මත බැදීම් ඇතුළෙ තියෙන වගකීම් එක්ක මේ සම්මත නොවන නමුත් ආත්මීය බැදීම නිරන්තරයෙන් ම ගැටෙනවා. ගුරෝෆ්ට ආන්යාව සිහිවෙන වෙලාවල ඔහු ඉන්නෙ පාඩම් කරන තමන්ගේ දරුවො ළග. ඔවුන් වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉෂ්ඨ කරමින්. ඒ වගේ ම ආන්යා තමාගේ අසනීප වුන ස්වාමියා කරා යන්නෙ ඔහු වෙනුවෙන් ඉටු කළ යුතු යුතකම් නිසායි.
චෙකෝප් ගේ කතාවේ වගේ ම බැදීම් අපි අතරත් තියෙනවා. ඒ නිසා මට හිතෙනවා. ආත්මීය කාරණා මොනතරම් තිබුණක් ඒවා අතික්රමණය කරලා අර වාස්තවික ලෝකෙ අපි දකින අපි හදාගත්ත සම්මත බැදීම වෙනුවෙන් ජීවිතේ වෙනස් කර ගන්න සිද්ධ වෙනවා කියලා. හර්ෂන දිසානායකගේ මේ ගීතය අහන වාරයක් වාරයක් පාසා ම මට චෙකොප් ගේ මේ කෙටිකතාවේ චරිත දෙක ඔලුවට වද දෙනවා. සමහර වෙලාවට මං මේ ගීතය අසාරධාරනයැයි තීරණය කරන්න වෙහෙසෙද්දි නැහැ. ඒක සාදාරණයි. ‘‘ඒ ගමන මග නතර විය යුතුයි ‘‘ කියලා හිතන්න සලස්වනවා. ඒත් ඒක පහසු නැහැ. මොකද වාස්තවික බැදීමක් නවතිනවා වගේ නෙවෙයි. අර වගේ ආත්මීය බැදීමක් නැති වෙන එක. ඒ වගේ අවස්ථාවක,
‘‘නෙතු සොරොව් දොර බිඳී
සුසුම් සැඩ සුළි සැදී ‘‘
ජීවිතයට අධික වේදානවක් දේවි. ඒත් ‘‘ඒ ගමන මග නතර විය යුතුයි‘‘
රවී සිරිවර්ධනයන් එහෙම කියද්දි දර්ශන වික්රමතුංගයන් ඒ මොහොතේ දි හදවත ට දැනෙන කම්පනයට සමානව යන සංගිත ඛණ්ඩයක් ඒ සදහා භාවිතා කරනවා. කොහොම උනත් නිර්මාණකරුවා මොනතරම් කියුවත් ඒ වේදනාව දරාගෙන මේ ගමන නැවැත්විය යුතුමයි කියලා කියුවත්, මට හිතෙනවා අපි කවදාවත් ඒ ගමන මග නතර කරන්නැහැ කියලා. ඒ නිසා ම
‘‘සිතක් විළිලා තැනූ සිහින පමණයි
ඔබත් ඔබෙමයි තවම මමත් මගෙමයි
පතා පැමිණිය නුවර පෙමාතුර වී වැටෙන
නිමා කලයුතු නෙතු කඳුළු බෝමයි.‘‘
ඒත් අපි ‘‘ඒ ගමන මග නතර විය යුතුයි ‘‘ කියන එක විශ්වාස කරන්නැහැ. නමුත් ඇත්තෙන් ම කළ යුත්තෙත් ඒ ගමන නතර කරන එකමයි.
(ප.ලි- පසුගිය දිනයක මා විසින් කරන ලද ගීත රසවින්දන වැඩ සටහනකින් උපුටා ගන්නාලදී. මගේ දේශනය සුරැකිව පිටපත් කර දුන් සිසුවියට ස්තූතියි)