Showing posts with label කවි කුටිය. Show all posts
Showing posts with label කවි කුටිය. Show all posts

Monday, November 15, 2021

 අහස් ගඟ කෙළවරක
අඳුරු ජල තටාකේ
එක ම එක තරුවක් ය
ඉතින් ඒ නුඹ වගේ...

අකල් වැස්සක උනත් තෙමි තෙමී හීතලේ
දුරින් හිඳ ඉවසන්නෙ මං නිසා දෝ සිතේ...

මට පේන දුරක හිඳ ඉන්න වග කියන්නට
මේ පාලු හැම රෑම මගේ දුක අහන්නට
ඉතින් තරුවක් වෙලා ඉන්නවද ඔබ ප්රියේ...

දුෂ්කර ම දවස් වල
හීල්ලුම් කඳුලු දැක,
වෙවුලන්නෙ සැලෙන්නේ
මා දුකින් නිසා වග
හිතෙන හැම වාරෙක ම
මගෙ පපුව ඇදුම්දෙන
හැඟීමය ආදරය...

පෙර රැයේ නුඹ ඇවිත් සිහිනෙකින් තරුවක් ව
මගෙන් ඇසුවා සෙමින් මතකයේ ඇත තාම

"ප්රියේ මං වැටෙන්නද කඩාගෙන
පොළොව වෙත
හැකිද වැටෙනා මාව දැක පතන්නට නුඹට
හෙටින් පසු ජීවිතේ සතුටු වේවා කියා!
මියැදුනත් මං එහෙම
නුඹ තුටින් හිඳිනු ඇත"

 


 

Thursday, August 17, 2017

මළවුන් වඳින්න නුඹ එනවද නොරිකෝ අද




නකජිමා සොහොන වෙත අවුදින්
සීතළ රැය
තවරාවි සඳේ මුදු සිසිළස
තරු එළි මැද
තමබොචිය පුරා ඇදෙනා ඒ
සඳ එළි මැද
කොතැනක හෝ නුඹ ඉන්නවාද
නොරිකෝ අද...

සකෙ බඳුන් එකින් එක හිස්වුන
සීතල රැය
මිදොරියේ ගෙවුනු ඒ අතීත 
නටඹුන් පෙළ
මේ සුසානයේ තනිව හිඳින
මළවුන් මැද
මට තෝකියෝව සිහිවෙනවා
නොරිකෝ අද...

නෝ කබුකි රැඟුම් අතරේ අපි
තෙපලූ බස
ලා පුපේ අවන්හල් කෙළවර
උන් මතකය
පොද වැස්ස යටින් සකුරා මල්
පිපෙනා සඳ
මොහොතක් මා ළඟ නවතිනවද
නොරිකෝ අද...

සයනොරා කියා සමුදෙන්නේ
කොහොමද මම
මේ සුසානයට නුඹ එනතුරු
ඉන්නම් අද
නේඹුරු දොඩමක ඉස්ම පොවා
අතගා හිස
මළවුන් වඳින්න නුඹ එනව ද
නොරිකෝ අද...

ගයාන් අබේසිංහ

Monday, August 14, 2017

වළට පෙම් කළ මුලක් හඩනු ඇත මහ රැයක





පුවතක්- පේරාදෙණි සරසවියේ සරත්චන්දු වළේ තිබූ රොබරෝසියා ගස කපා දැමෙයි.

ගලහ මාවත දිගේ නැගි සොදුරු තුරු පෙළද
කදු තරම් පෙම් රහස් සගව ගත් හන්තාන
පෙම්වතුන් ගේ කදුලු බිදුවලින් සැදුනු ගග
මහවැලිය නම් ලබා දුක දරා ඇදී යත...

දිලෙන සද වත පේර අහසෙ මුදුනත තැනක
ලංවෙන්න බැරි උනත් වැටුනු කල ගග දියට
වින්ද හැටි තව තවත් සිහිවේය මහ රැයක
පාලමය අක්බාර් ඊට සුදුසුම සොයුර..

මුණ ගැසෙන වෙන්ව යන සරසවියෙ සොදුරු තැන
උයන සරසවි පමනි දුම්රියක් නවත්වන
නෙතු දහස් ගණන් වැද බලා උන් සිංහ රුව
අදත් යන එන සිසුන් දෙස බලන් හිදිනු ඇත...

බිසෝ වරු ඇවිත් ගිය සිංහයන් හඩ තැලුව
වළ තවම නිසසලය පෙම් වතුන් සැරි සරන
වළට පෙම් කළ මුලක් හඩනු ඇත මහ රැයක
එමුල රෝබරෝසියා ගසේ මිස වෙන කුමක

ඇය නැතත් මා නැතත් වළ තවම හිදිනවා
පෙම්වතුන් අප සේම පෙම් වදන් දොඩනවා
පිට දුන්න රොබරෝස ගස නැතිව වැලපෙනා
වළේ දුක් බර පැහැය මට මැවී පෙනෙනවා....

ගයාන් අබේසිංහ