Showing posts with label විශ්ව වටපිටාව. Show all posts
Showing posts with label විශ්ව වටපිටාව. Show all posts

Wednesday, August 1, 2018

ලොව කම්පාකළ ගුවන් අනතුරකට පසු කතාව Aftermath



ඒ ඉතිහාසයේ තවත් අඳුරු දිනයක්. හරියටම කියුවොත් ඒ දෙදහස් දෙක වසරේ ජූලි පළමු වෙනිදා දවසක්. එදත් Bashkirian Airlines Flight 2937 ගුවන් සේවයට අයත් Tupolev Tu-154 නම් මගී ප‍්‍රවාහන ගුවන් යානයත් DHL Flight නම් බෝයිං 757 වර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහන යානයත් ඉහල අහසට ඇදෙන්නෙ සිය සුපුරුදු රාජකාරි කටයුත්තේ යෙදෙමින් ගුවන් ගමනා ගමන කටයුතු සාර්ථක ව සිදු කිරීමේ බලාපොරොත්තුවෙන්. මගී ප‍්‍රවාහන ගුවන් යානයේ කාර්ය මණ්ඩලයත් ඇතුලූව හැට නමයක පිරිසක් ගමන් කරා. භාණ්ඩ ප‍්‍රවාහන යානයේ නියමුවන් දෙදෙනෙක් ගමන් කරා. මේ යානා දෙකෙහි ම උන් කිසිවෙකුටත් ගුවන්ගත වෙන මොහොතේ පවා එදා ඔවුන් ගේ ජීවිතවලට ගුවනේ දී සිදුවන දෙය නිකමට හෝ දැනී තියෙන්න නැතිව ඇති. හරියට ම ජර්මනියේ Uberlingen නගරයට ඉහල අහසේ දී මුලූ මහත් ලෝකයම කම්පාවට පත් කරමින් මේ ගුවන් යානා දෙක එකිනෙක ගැටුනා. අනතුරින් කිසිවෙකුටවත් ජීවිතය ගලවා ගන්න බැරි උනා. මේ කියුවෙ සත්‍ය කතාවක්.

ඒත් ඇයි මෙහෙම අනතුරක් වුණේ...?
කවුද ඒ ගුවන් යානයේ ගමන් කළේ?
ඒ අයගේ පවුල් වල අය මොනතරම් නම් දුක් වෙන්න ඇති ද?
ඒ අනතුරට වගකිව යුත්තාට මොකද වුණේ?

මේ සිද්දියත් එක්ක මේ වගේ ප‍්‍රශ්න ගණනාවක් ඔබේ හිතට එනවා ඇති නේ ද? ඔව් ඒක මේ වගේ දෙයක් ඇහුවම සාමාන්‍යයෙන් අපිට ඇතිවෙන හැඟීම්වල ස්වභාවයනෙ. ඒ හැමදේටම උත්තර දෙන්න මේ සත්‍ය සිද්ධිය ඇසුරෙන් නිර්මාණය කළ සිනමා පටය නරඹන ලෙස මම ඔබට යෝජනා කරන්නෙ අන්න ඒ නිසයි. අපි දකින සිදුවීමක මාධ්‍ය මගින් හෝ යම් ආකාරයකින් අපට විස්තර වෙන කොටස හැරුණම එතනින් එහාට මොනතරම් දේවල් තියෙනවා ද කියලා ඔබට දැනේවි Aftermath සිනමා පටය නැරඹුවා ම.

මේ වසරේ අපේ‍්‍රල් මාසයේ හත් වනදා තිරගත වීම ඇරඹෙන මේ Aftermath සිනමා පටය මිනිත්තු අනූ දෙකක් පුරා දිවෙන ඩ‍්‍රාමා ත‍්‍රිලර් ඝනයට අයත් සිනමා පටයක්. ඩොලර් මිලියන දහයයි දශම පහක් වැය කරමින් හැදුව මේ සිනමා පටයට IMDB අගය 5.8 ක් සහ ටොමැටෝ චාර්ට් අගය 39% ක් ලැබිලා තියෙනවා. එලියට් ලෙස්ටර්ගේ අධ්‍යක්ෂනයක් සහ ජේවියර් ගලන්ගේ රචනයක් හැටියට තමයි Aftermath සිනමා පටය එළිදකින්නෙ.


රෝමන් මෙල්නික් කියන්නෙ සිනමා පටය ආරම්භයේ දි ම අපට මුණ ගැහෙන තරුණයෙක් වගේ කඩිසර නමුත් මහලූ ඉදිකිරීම් ශිල්පියෙක්. හරියට ම කියුවොත් ඉදිකිරීම් වැඩ බිමක සුපවයිසර් වරයෙක්. රෝමන්ගේ චරිතය දැක්ක ගමන් සිනමාවට ආගන්තුකයෝ නොවන අයට නම් එක්වරම රෝමන් වෙනුවෙන් පෙනී හිටින්නෙ කවුද කියලා තේරුම් ගන්න පුලූවන් වෙයි. ඒ තමයි ප‍්‍රවීණ ක‍්‍රියාදාම නලූවෙක් වුණ ආර්නෝල්ඞ් ස්වසනෙගර්. ඉතින් මේ රෝමන් ඉන්නෙ බොහොම ප‍්‍රීතියෙන්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි රෝමන්ගේ ආදරණීය බිරිඳ ඔලේනා සහ ගැබිනියක වන ආදරණීය දියණිය නාදියා දීර්ඝ කාලයකට පස්සෙ අද නිවෙස බලා එන එක. පවුලේ බැඳීම් එක්ක පවුලේ සාමාජිකයෝ එක්ක කාලය ගෙවන එක තරම් ආදරණීය කටයුත්තක් තව කොහේ ද? ඒ හින්දාම ද මන්දා රෝමන් ඉන්නෙත් කියාගන්න බැරි තරම් සතුටකින්. තමන්ගේ ආදරණීය බිරිඳ හා දියණිය පිළිගන්න මුලූ ගෙදර ම අස්කරලා ලස්සනට ලෑස්ති වෙලා රෝමන් ගුවන් තොටුපළට යන්නේ ඒ දෙන්නව එක්කරගෙන එන්න. ඒත්... රෝමන් ගේ හැම බලාපොරොත්තුවක් ම බිඳෙනවා. ඒ ගුවන් තොටුපලේ දි අහන්න වෙන කතාවෙන්. ඔලේනා සහ නාදියා ආව Tupolev Tu-154 ගුවන් යානය අනතුරකට ලක්වෙලා. රෝමන් ට දැනෙන්නෙ මුලූ ලෝකෙම කඩා වැටුණා වගේ හැඟීමක්.
Aftermath සිනමාපටයේ සංගීත නිර්මාණ ශිල්පියා වන මාර්ක් ටොඞ් හරි සියුම් විදියට මේ සිනමා පටය පුරාවට ම සංවේදී පසුබිම් සංගීත නිර්මාණයක යෙදෙන්නෙ රූප රාමු ඇතුළෙ වෙන දේවල් පේ‍්‍රක්ෂකයාට තවත් සංවේදී විදියට විඳින්න ඉඩ සලස්වමින්. රෝමන් ගෙ කඩා වැටීම... විඳවීම ... හරි සියුම් විදියට අපිට දැනෙන්නෙ මාර්ක්ගෙ අපූරු සංගීත හරඹයත් එක්ක.

රෝමන් වගේ ම මේ සිනමා පටයේ දි අපිට තවත් චරිතයක් මුණ ගැහෙනවා. ඒ තමයි ජේක්. ස්කූටි මැක්නෙරි තමයි ජේක් ට පණ පොවන්නෙ. ජේක් කියන්නෙ එක් දරු පියෙක්. හරියට ම රෝමන් වගේ ම යි. වෙනස තමයි ජේක් ට ඉන්නෙ පුතෙක්. රෝමන් තමන්ගේ බිරිඳට දියණියට ආදරය කරනවා වගේ ම ජේක් ද තමන්ගේ බිරිඳට සහ දරුවට අසීමිතව ආදරය කරනවා. ජේක් ගේ රැකියාව වෙන්නේ ගුවන් යානා අංගනයේ මෙහෙයුම් පාලන මැදිරියේ කටයුතු කරන එක. එදත් මේ කියන දවසේ ජේක් තමන්ගේ රාජකාරිය කරමින් ඉන්නවා. ඒත්... අවාසනාවට ජේක් අතින් වෙන තත්ත්පර ගාණක සුලූ ප‍්‍රමාදයක් නිසා මුලූ ලෝක ඉතිහාසයට ම වේදනාත්මක ෙඛිදවාචකයක් ඉතිරි කරමින් ගුවන් යානා දෙකක් ගුවනේ දි ගැටෙනවා.

දැන් ඔබ කියයි. ජේක් වරදකරුවෙක් කියලා. ඒ වගේ ම ඔබ ජේක් ට චෝදනා කරන අතරවාරයේ ම ජේක් ට මරණ දඬුවමත් නියම කරයි. ඒත්... තමන් අතින් නොසිතා ම වුණ වැරැද්ද වෙනුවෙන් ඒ වැරැද්දෙන් මියගිය අය වෙනුවෙන් වැරදිකරුවෙක් මොනතරම් දුක් විඳිනවද කියන කාරණය ඔබට Aftermath සිනමා පටය නැරඹුවහොත් දැනේවි. නමුත් කතාව එතනින් එහාට වෙනස් මානයකට ඇදිලා යනවා. ඒ තමයි මේ ගුවන් අනතුර සිද්ධවෙලා වසරකට පස්සෙ රෝමන් මේ අනතුරට වග කිව යුත්තා වුණ ජේක් ව හොයාගෙන යනවා.

ඒ වෙද්දි ජේක්ට මොනා වෙලා ඇත් ද?
රෝමන් හා ජේක් හමුවීම සිද්ධ වෙයිද?
ඒ දෙන්නා අතර මොනවගේ තත්ත්වයක් ඇති වෙයි ද?


මම ඒ කිසිම දෙයක් ගැන පිළිතුරු දෙන්නෙ නැහැ. ඒක් මේ සිනමා පටය බලලා ම ඔබට දැන ගන්න කියලා මම යෝජනා කරනවා.Aftermath සිනමා පටය නරඹා අවසන් වෙද්දි ඔබට දැනෙන හැඟීම මහ පුදුමාකාර එකක් වෙන බව නම් මම දන්නවා. ඒකට හේතුව වෙන යමක් නෙවෙයි මේ මිනිත්තු අනූ දෙක පුරාවට ම අපිට අපේ ජීවිතවල යම් යම් ස්වරූපයන් සිනමා පටයේ කතාවට බද්ධ කරලා ඒ කතාවෙ චරිත හරහා ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂක වරයාට පුලූවන් වෙලා තියෙනවා.

බැඳීම් කියන්නෙ මොනතරම් ආදරණීය දෙයක් ද? ඒ වගේ ම බැඳීම් අහිමි වුණාම අපේ ආදරණීයයන් මිය ගියොත් දැනෙන වේදනාව කොයිතරම් ද? ඒ වගේ ම නොසිතා කළ වරදක් නිසා හෘද සාක්ෂිය කොයිතරම් අපිව විඳවීමට අරන් යනවා ද? මේ වගේ කාරණා ගණනාවක් ගැන ඔබට හිතන්න බල කරන සිනමා පටයක් තමයි Aftermath සිනමා පටය.

@ ගයාන් අබේසිංහ

Tuesday, August 15, 2017

මළගිය ඇත්තෝ සහ සරත්චන්ද්‍රයන්ගේ ජීවිතය



‘‘ඉක්මනින් ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්ට ඇහැකි
මළගිය ඇත්තන් කැටුව ම’’
(මළවුන්ගේ අවුරුදු දා- එදිරිවීර සරත්චන්ද්‍ර)

උක්ත පදවැල කවිපොතක හෝ ගේය පද බැඳුමක එන පදවැලක් නො වන වග සිංහල සාහිත්‍යයේ ඇසූ පිරූ තැන් ඇති ඔබ දන්නා බව නිසැකය. 1959 දී පමණ සිය ප‍්‍රථම නවකතාව ලෙසින් එදිරිවීර සරතච්චන්ද්‍රයන් නැමැති ඒ උත්තුංග නිර්මාණවේදියා විසින් රචනා කරන ලද මළගිය ඇත්තෝ නවකතාවෙහි එන පද්‍ය කොටසකි එය.

දෙවෙන්දොරා සං නැමැති ලාංකේය සිවුරලූ චිත‍්‍ර ශිල්පියා හා නොරිකෝ සං නැමැති ජපන් ආපනශාලා සේවිකාව අතර ඇති වන පේ‍්‍රමයේ සුන්දර මෙන් ම වේදනාත්මක පාර්ශවයන් ද තේමා කොට ගනිමින් රචිත මෙම මළගිය ඇත්තෝ නවකතාව වනාහී හුදෙක් එකල මෙකල ලියැවුණු තවත් එක පේ‍්‍රම කතාන්දරයක් නම් නොවෙයි. සිතින් පෙම්බැඳි ඔවුන්ගේ පේ‍්‍රමය වරෙක ප‍්‍රහර්ශයේ කෙළවරක සංතෘෂ්ටිය විඳිමින් ද තවත් වරෙක වේදනාවේ ෙඛිදාන්තමය කටුකත්වය විඳිමින් ද ගලා ගිය යථාර්ථවාදී පේ‍්‍රම කතාවක් ලෙසින් හඳුනාගත හැකිය. දෙවෙන්දොරා යනු කලාකාමී මානසිකත්වයේන් පසු වූ අයෙකි. ඔහු තමන් දකින් සෑම කලාකාමී හැඟුමක් ම ප‍්‍රීතියෙන් වැළඳ ගනු ලැබීය. ඒ හැඟුම විඳීම තුළින් ඔහු අප‍්‍රමාණ ආනන්දයක් විඳිනු ලැබුවේය. එහෙත් ඔහු ඒ විඳීම හිමිකර ගැනීමක් දක්වා දුර ගෙන නොයන්නෙකි. ඔහුට නොරිකෝ පිළිබඳ මෙන් ම පේ‍්‍රමය පිළිබඳ ව ද ඇත්තේ උක්ත විඳීම ම ය. මිදොරි අවන්හලේ පැද්දෙන දොරටු අතරින් ඇතුල් වූ දෙවෙන්දොරා ප‍්‍රථම ව වරට නොරිකෝ මුණ ගැසුණු තැන පටන් සමස්ථ නවකතාව පුරාවට ම කියැවෙන්නෙ හිමිකර ගැනීමෙන් තොරව පේ‍්‍රම කිරීමේ දී ඇතිවන තත්වයන් පිළිබඳවයි. ඒ පිළිබඳ කල්පනා කරන කල එය වෙන ම ම ලිවිය යුතු විශාල ලිපියකට දොරගුලූ පවා විවර කරනු ඇත. 



දෙවෙන්දොරා ගේ මෙම සංවේදී කලාකාමී විඳීම  නවකතාව ආරම්භයේ පටන් ම දැකිය හැකිය. හේ සංවේදී කලාකරුවෙකි. ජපන් පරිසරයට පය තැබූ මොහොතේ පටන් ම දෙවෙන්දොරා සං විසින් ඒ පරිසරයේ ඇති සුන්දරත්වය විඳිනු ලබන ස්වරූපය මළගිය ඇත්තෝ නවකතාවේ දක්වා ඇත්තේ මෙපරිද්දෙනි.
‘‘ඒ රටට පැමිණි මට වහා ම හැඟුනේ බැලූ බැලූ අත වර්ණයෙන් දෑස පිනවන වෙන රටක් මා දැක නැති බව ය. ගිනි පෙට්ටිය, තේ කෝප්පය වැනි තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකට ම අපූරු හැඩයක් දමා විචිත‍්‍ර වර්ණයක් කවා සෞන්දර්යයෙන් වටවී ජීවත් වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙණුනි. සෞන්දර්යයෙන් යුත් පරිසරයක වීමට සිතැඟි සමථ කිරීමෙහි ලා කොතරම් උපයෝගි වන්නක් ද? කඩයකට, සාප්පුවකට ගිය ද බොජුන් හලකට අවන්හලකට ගිය ද සීරුවට නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්‍රියෝ පිබිදෙති. යන්ත‍්‍රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයකට වුව ද ඔවුහු රසයක් ඇතුළත් කරති’’
(මළගිය ඇත්තෝ නවකතාව- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)

උක්ත ඡේදය පමණක් නොව මළගිය ඇත්තෝ නවකතාවේ එන දෙවෙන්දොරා සංගේ චරිතය සියුම්ව නිරීක්ෂණය කිරීමේ දී එම චරිතයේ ඇති සංවේදීත්වය හා කලාකාමීත්වය සියයට සියයක් ම ඒ අයුරින් ම නොවුන ද යම්තාක් මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ චරිතාංගයන් සමඟින් සමපාත වන්නේ යැයි සරච්චන්ද්‍රයන් ගේ චරිතය හා ඔහුගේ අනෙකුත් සාහිත්‍යය නිර්මාණ හැදෑරූවන් තුළ සිතුවිල්ලක් ඇති විය හැකිය. මන්ද දෙවෙන්දොරාගේ කලාකාමීත්වය පේ‍්‍රමය දාර්ශනික තලයක තබා විඳ ගැනීම ආදී කරුණු පැහැදිලිව ම එහි රචකයාගේ ජීවන දෘෂ්ටීන් වීම බොහෝ දුරට සිදුවිය හැකි හෙයිනි.

පේ‍්‍රමයේ අව්‍යාජ නිකලැල් විඳ ගැනීම පිළිබඳ මළගිය ඇත්තෝ නවකතාවේ එක් තැනක දක්වා ඇති මෙම පහත ඡේදය පැහැදිලිව ම පේ‍්‍රමයේ එක් දාර්ශනික තලයක් පාඨක ශ‍්‍රාවකයාට සම්මුඛ නොකරන්නේ ද?
‘‘අප තම තමන්ගේ සිත් සතන්හි කිමිදී සිටියා මිස කිසිවක් කතා බහ කළේ නැත. එබදු වෙලාවන් හි ස්වල්ප මොහොතක වුව ද මා සිතින් ස්පර්ශ කරන සුවය, යෝගීන් කියන අන්‍ය වේදයන්ගෙන් කිළිටි නො වූ නිර්මල ආස්වාදයට සමාන යැයි මට සිතේ’’
(මළගිය ඇත්තෝ නවකතාව-  මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)


දෙවෙන්දොරා ගේ චරිතය පමණක් නොව නොරිකෝ ගේ චරිතයද සැබැවින්ම ජපන් රට තුළ ජීවත් වූ චරිතයක් ද යන පැනය පවා නිරන්තරයෙන් සිතට නැගෙන්නේ සරච්චන්ද්‍රයන් එක්තරා කාලයක් ජපානයේ විසූ බැවිනි. නොරිකෝ යනු සැබැවින් ම එහිදී ඔහුට හමුවූ යුවතියක් දැයි සිතට පැනයක් නැගෙන්නේ එනිසාය.

මේ අනුව දෙවෙන්දොරාගේ චරිතය කෙරෙහි සරත්චන්ද්‍රයන්ගේ සැබෑ ජීවිතයේ සෙවණැල්ල වැටී ඇත් ද යන්න පිළිබඳ මෙන් ම නොරිකෝ යනු සත්‍ය වශයෙන් ම සරත්චන්ද්‍රයන් එදවස ජපානයේ දී දැන උන් සැබෑ චරිතයක් ද යනුවෙන් එදා මෙදා තුර උක්ත නිර්මාණය කියවන විචාරය කරන බොහෝ පාඨකයන් විචාරකයන් විසින් විමසන පැනයට සරච්චන්ද්‍රයන් විසින් සිය ස්ව්‍යං ලිඛිත චරිතාපදානය වන පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ මෙසේ පිළිතුරු දක්වා ඇත.
‘‘මළගිය ඇත්තෝ නවකතාවට ඇසුරු කර ගන්නා ලද්දේ සැබෑ අත්දැකීමක් දැයි මගෙන් පාඨකයෝ අසති. මීට පිළිතුරු වශයෙන් චිකමත්සු නම් ජපන් නාට්‍යකරුවා කළ ප‍්‍රකාශයක් මතක්කර දෙනු කැමැත්තෙමි. සාහිත්‍යය වනාහී සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අන්යත ප‍්‍රදේශයකට අයත් වේ යි ඔහු කීවේය. කෙනෙකු තමාගේ අත්දැකීමක් ඒ අයුරින් ම විස්තර කළ හොත් එය සාහිත්‍ය කෘතියක් නො ව වාර්තාවක් වන්නේ ය. හුදු කල්පිතයක් නම් එහි වැදගැන්මක් නැත. අපි ඊට කෙප්ප යැයි කියමු. සාහිත්‍යයෙන් ජීවිත විවරණයක් සිදුවේයැයි කියන්නේ එහි කිසියම් සත්‍ය අත්දැකීමක් ගැබ්ව ඇති බැවිනි.

කිසියම් කතුවරයෙකු නවකතාවක් හෝ කෙටිකතාවක් ලියූ විට අසවලා කවුද, අසවලා කවුද, කියා දැනැගැනීමට පාඨකයෝ මහත් කුතුහලයක් දක්වති. ඔවුන් මෙසේ සොයන්නේ නවකතාව හුදු කල්පිතයක් නොවන බව දන්නා බැවිනි. තම කථාව කල්පිතයක් යැයි බොරු නම් ගම් ආදිය යෙදීමෙන් කතුවරයා පෙන්වන්නට වෑයම් කරන නමුත් ඊට ඇතුළත් සිදුවීම් හා පුද්ගලයන් සැබෑ යැයි පාඨකයෝ සිතති.

එහෙත් මෙතැනදී පාඨකයා මුලාවේ වැටෙන්නට ඉඩ තිබේ. නවකතා කරුවා චරිතයක් මවන්නේ කිසියම් සැබෑ පුද්ගලයෙකු ආශ‍්‍රය කොටගෙන වුව ද ඔහු තෝරා ගන්නේ ඒ පුද්ගලයාගේ චරිතයෙන් එක් අංශයක් පමණක් විය හැකිය. එසේත් නැතහොත් ඒ පුද්ගලයාගේ චරිතයේ අංශ කිහිපයක් තෝරා ඔහු විසින් අමුතුම චරිතයක් මවනවා විය හැකිය. තවත් දෙයක් සිදුවන්ට පුලූවන.  එනම් කතුවරයාගේ මනසේ උපන් කිසියම් කල්පිත චරිතයක් ඔහු ඒ සැබෑ චරිතය මත ආරෝපණය කරන්නට පුලූවන.

ඒ කියන්නේ මා දකින නොරිකෝ ඇගේ මව්පිය දෙදෙනා දකින නොරිකො වත් ඇගේ මිතුරියන් දකින නොරිකොවත්, ඇගේ සහෝදරයා දකින නොරිකොවත් නො ව අමුතුම කෙනෙකි. එබැවින් එය මායා රූපයක් විය හැකිය.

ඇත්ත වශයෙන් කියතොත් මා විසින් නිර්මාණය කරන ලද නොරිකො චරිතය මා හැඳින සිටි ජපන් ස්ත‍්‍රීන් දෙදෙනෙකු ඇසුරින් ගොඩනඟන ලද්දකි. ’’
(පිං ඇති සරසවි වරමක් දෙන්නේ- මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍ර)



මේ සියල් කරුණු අනුව අපට අවසානයේ දී කියන්නට මෙන්ම අසන්නට ද සිදුවන්නේ ද සරත්චන්ද්‍රයන් පවසන චිකමත්සුගේ අදහස ඇසුරෙන් ම අප තුළ ඇතිවෙන පැණයකි.

‘‘ සාහිත්‍යය වනාහී සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අන්යත ප‍්‍රදේශයකට අයත් වූවක් ම නොවේ ද? 

ගයාන් අබේසිංහ

බිහිවිය එදවස එලෙස මනමේ...



සිංහල නාට්‍ය වංශකතාව ආලෝකමත් කළ සුවිශේෂී නාට්‍යන් අතරින් අග‍්‍රප‍්‍රාප්ත වූ නාට්‍ය කුමක්දැයි කවරෙක් හෝ විමසුවහොත් පැහැදිලිව දිය හැකි පිළිතුරක් ලෙසින් එදිරිවීර සරත්චන්ද්‍ර නම් වූ මහැදුරු විසින් නිමවන ලද මනමේ නාට්‍ය හඳුන්වා දීමෙහි සදොසක් නැත. එක්දහස් නවසයි පනස් ගණන් වලදී මෙතෙක් කල් පැවැති කෝලම් සහ නාඩගම් සම්ප‍්‍රධායන් ද ආශ‍්‍රය කර ගනිමින් ද ජාතක කතා පොතෙහි එන තුන්සිය හැත්ත දෙවන ජාතක කතාව වන චුල්ල ධනුග්ගහ ජාතකයේ ද ජපන් ජාතික අකතුතගාවා රියොනුසුකෙ ගේ නිර්මාණයක් ඇසුරෙන් අකිර කුරොසෝවා විසින් නිමවන ලද රෂෝමොන් සිනමා පටය ද යම් පමණකට සමීප කරගනිමින් සරත්චන්ද්‍රයෝ විසින් එදවස සිය මනමේ නාට්‍ය නිර්මාණය කරන්නට යෙදී ඇත. ඒ පිළිබඳව ඔහු සිය ස්ව්‍යං චරිතාපදානය ලෙසින් රචනා කර ඇති පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි මෙසේ රචනා කර ඇත.
‘‘මනමේ කතාව සින්දු නාඩගමකට ආශ‍්‍රය කොට ගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිද ගත්තේ ජපානයෙහිදී හෝ ඇමරිකාවෙහිදී අකිර කුරසොව විසින් අධ්‍යක්ෂණය කරන ලද ”රෂෝමොන්” නම් චිත‍්‍රපටිය බැලීමෙන් පසු ය. ‘‘රෂෝමොන්” චිත‍්‍රපටියට ආශ‍්‍රය කරන ලද්දේ අකුතුගව නම් කතුවරයාගේ කතාවකි. මේ කතාව සාරාංශයෙන් ගත් විට අපේ චුල්ල ධනුග්ගහ ජාතකයටත් මනමේ ගැමි නාටකයටත් සමානය.”

සරත්චන්ද්‍රයන්ගේ මේ සිතුවිලි ක‍්‍රියාවලියක් බවට පත්ව පසුව නාට්‍යක් පවට පත්ව මුල්ම වරට 1956 නොවැම්බර් තුන්වෙනිදා  ලයනල් වෙන්ට්ඞ් රඟහලේ දී මනමේ රංගාභිෂේක කර අද වන විට වසර හැටක් පමණ ගෙවී ඇත. අද ඒ සුන්දර නාට්‍ය වේදියා අප අතර ජීවමානව නොවුනද අද වෙන විටත් සමස්ථ දිවයින පුරා දර්ශන වාර සිය දහස් ගණනින් රංගගත කරමින් තවමත් මනමේ නාට්‍ය සිය ගමන් චාරිකාවේ යෙදීම නම් කිසිදු අයුරකින් හෝ නොනවතා ඇත. මෙකී නාට්‍යයේ ප්‍රෙක්ෂක වැළඳ ගැනීමට එකී මිනුම් දඬුව හැර වෙන කවර මිනුම් දඬුවක් සුදුසුවේ ද?

එදා එක්දහස් නමසිය පනස් හය පමණ වන විට පේරාදෙණිය සරසවියේ ඉගැන්වීමේ කටයුතුවල යෙදෙමින් උන් සරත්චන්ද්‍රයන් ඒ වන විට නාට්‍ය කලාව පිළිබඳව හා ගැමි නාට්‍ය සම්ප‍්‍රදාය පිළිබඳව පර්යේෂණවල නියැලෙමින් උන් අවධියකි ඒ කාලය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සිංහල නාට්‍ය මණ්ඩලය බිහිව ඇත්තේ ද මේ වකවානුවේදී ය. මුල්ම කාලයේ දී පටන් විවිධ කලා කටයුතුවල නිරත වෙමින් ඉදිරියට එන මෙම සංගමයට වරක් සරත්චන්ද්‍රයන් යෝජනා කරන්නේ නාට්‍යක් කිරීම වඩාත් සුදුසු බවයි. එකී යෝජනාව මල් ඵල ගන්වමින් මනමේ නම් වූ ඓතිහාසික කටයුත්ත සඳහා සියල්ල සූදානම් වන්නේ ඉන් අනතුරුවය. රංගනය, නර්තනය හා ගායනය සඳහා සුදුසු සිසුන් සරසවියෙන් ම සොයා ගැනුම උදෙසා දැන්වීම් සරසවිය තුළ ඇළවෙන අතර කලා පීඨයේ ඉහළ මාලයේ කුඩා කාමරය සරත්චන්ද්‍රයන් විසින් සම්මුඛ පරික්ෂණ පවත්වා තිබුණා. මුල් අදියරේ දී මනමේ කුමාරයා ලෙසින් මොරටුවේ පාසලක සිට සරසවි අධ්‍යාපනයට පේරාදෙණියට පැමිණි බෙනඩික්ට් සිරිමාන්න තෝරාගෙන ඇති අතර මනමේ කුමරිය සඳහා ට්‍්‍රලීෂියා අබේකෝන් තෝරාගෙන තිබුණා. පොතේ ගුරුගේ චරිතයට තෝරා ගත්තේ ශ්‍යාමන් ජයසිංහ ය. මෙසේ සියලූ චරිත තෝරා ගත්ත ද සරසවියේ පැවැති සම්මුඛ පරික්ෂණයේ දී තේජවන්ත දේහධාරී වැදි රජකු සොයා ගැනීමට ලැබී නැහැ. පසුව වැදි රජු නුවර දළඳා මන්දිරය ආශ‍්‍රිත සැනකෙළියක දී හදිසියෙන් ඇස ගැසුණු අයෙක් සොයා ගෙනවුත් ඔහුට වැදි රජුගේ චරිතය ලබා දී ඇති අතර හේ නමින් එඞ්මන්ඞ් විජේසිහය. වැදි රජුගේ සේ ම පසුව රාජගුරුගේ චරිතය ද ඔහු විසින් රංගගත කරනු ලැබෙන්නේ මේ අහඹු හමුව දුර දිග යෑම ඔස්සේ ය. 


කෙසේ වුවත් මේ නළු නිළියන් සියල්ලෝම සිය දක්ෂතාවයන් උපරිම තත්ත්වයෙන් පෙන්වා ලමින් පේ‍්‍රක්ෂක සිත් සතන් වසඟයට ගනු ලැබ ඇති අතර  සරත් අමුණුගමයන් සිය මනමේ මතක් වී නැමැති කෘතිය තුළ ඒ පිළිබඳව මෙසේ සඳහන් කර තිබීමෙන් ම එය වටහා ගත හැකියි.
‘‘ඉස්සර සරසවි සිසුන් හැටියට අපි මහනුවර පුෂ්පදාන ශාලාවේ මනමේ රඟ දක්වන සෑම විටම පාහේ එය නැරඹීමට ගියෙමු. නාට්‍ය නැරඹීමෙන් පසු අප සිසු කණ්ඩායම පේරාදෙණිය මල්වත්ත අසල සිට සංඝමිත්තා ශාලාව වෙත මනමේ ගී ගයමින් හඳපානේ ඇවිදගෙන ආ හැටි දැනුත් මට මතක් වෙයි. පේරාදෙණියේ සිසු සිසුවියන් වැඩි දෙනෙකු නාට්‍ය ශාලාවට එක් රොක් වුණු දවස්වල නළු නිළියෝ ද විශේෂ උනන්දුවකින් රඟ දැක්වූහ. ශ්‍යාමන් වෙනදාට වඩා සිනාසුණේය. රාජගුරු වශයෙන් එඞ්මන්ඞ් වැරෙන් බොරු රැුවුළ කැරැුකැවුවේ ය. ට්‍්‍රලීෂියා වෙනදාට වඩා උකුළ පද්දමින් නැටුවා ය.’’

මෙලෙසින් පූර්ණ කැපවීමෙන් යුක්තව මනමේ මුල්ම රංග කණ්ඩායම ස්වකීය රංගනයන්ගෙන් මනමේ හැඩ ගැන්වීමත් යම් අයුරකින් ඒ මුල්ම අවදියේදීත් මනමේ සඳහා මේ තරම් පේ‍්‍රක්ෂක අවධානයක් දිනා ගැනීමට හේතුවන්නට ඇත. මෙම මුල්ම මනමේ කාර්යට  සම්බන්ධ වූ රංගන ශීල්පීන් පිළිබඳව ද සරත්චන්ද්‍රයන් සිය පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි දක්වා ඇත්තේ ‘‘මෙතරම් දක්ෂ නළු නිළි පිරිසක් ලැබුණේ මගේ භාග්‍යයට පමණක් නොව රසිකයන්ගේ ද භාග්‍ය නිසා ය.’’ යනුවෙන් ය. 

මෙලෙසින් නාට්‍ය සඳහා රංගන ශිල්පීන් තෝරාගත් පසුව සරත්චන්ද්‍රයන් සිය නාට්‍යයේ පුහුණුව සහ අවශේෂ කටයුතු සඳහා විශේෂ අයෙකුගෙන් උපකාර ගනු ලැබ ඇත. ඒ  නාඩගම් සම්ප‍්‍රදායේ මහ ඇදුරු ලෙස සැලකූ බළපිටියේ අම්පේ උපන් චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ ය. ගැමි නාට්‍ය කලාවත් නාඩගම් ආදිය ගැනත් එතුමාණන්ගෙන් සරත්චන්ද්‍රයන්ට ඉමහත් දැනුම් සම්භාරයක් සැපයී ඇති අතර නාට්‍යයේ රංගවෙස් ගැන්වීම් සිදුව ඇත්තේ එවකට සරත්චන්ද්‍රගේ බිරිඳ වූ අයිලින් සපරමාදු මහත්මියගෙන් ය. ඇඳුම් මෝස්තර නිර්මාණය කර ඇත්තේ සිරී ගුණසිංහ මහතාය.

පිටපත සකසා නාට්‍ය පුහුණුව සිදුකර ඇත්තේ ද සරසවි බිම තුළ දී ය. ඒ සංඝමිත්තා නේවාසිකාගාරය අසල ඇති සරත්චන්ද්‍රයන්ගේ නිවාසය ආශ‍්‍ර භූමියේ ය. නාට්‍ය රංගනය සියුම් නිරීක්ෂණය කරමින් වැරදි අඩුපාඩු සකසමින් ඉතා වෙහෙසකර ලෙසින් ගෙවුනු මේ දිනවල රංගනයේ යෙදුනු බොහෝ දෙනා වෙනුවෙන් ආහාර පාන පවා සැකසී ඇත්තේ සරත්චන්ද්‍රයන්ගේ නිවසේ ය. දුර බැහැර ප‍්‍රදේශ වලින් නාට්‍යට සම්බන්ධ වූවන් නාට්‍ය පුහුණුව අවසානයේ ගෙනගොස් ඇරලා ඇත්තේ ද සරත්චන්ද්‍රයන් ගේ ම රථයෙන් ය. ඒ උත්තුංග නාට්‍යවේදියාගේ ඒ කැපකිරීම් ද මෙවන් විශිෂ්ඨ ගණයේ නාට්‍යක් බිහිවීම සඳහා එසේ බලපාන්නට ඇත. අමරදේවයන් ගේ සංගීතයෙන් හැඩවූ මේ පුහුණුව පුරා මාස තුනක් තිස්සේ සිදුකර නාට්‍ය මුල්ම වරට කරළියට එන්නේ 1956 නොවැම්බර් 03 වෙනිදාවක ය. ඒ ලයනල් වෙන්ට්ඞ් රඟහලේ දී ය. හෙළ නාට්‍ය සම්ප‍්‍රදාය අමතක කරදමා උන් මධ්‍යම පන්තික බොහෝ දෙනා මෙවැනි නාට්‍ය නැරඹුම පහත් ක‍්‍රියාවක් ලෙසින් සැලකූ අතර එබැවින් එම පළමු දර්ශන වාරයේ දී නාට්‍ය නරඹන්නට පැමිණ ඇත්තේ පේ‍්‍රක්ෂකයන් විසි දෙනෙකු පමණි. එහෙත් සාර්ථකව නාට්‍ය පෙන්වා නාට්‍ය පෙන්වූවන් ට රුපියල් පහළොව බැගින් දෙන්නට ද සරත්චන්ද්‍රයන් නොමසුරුව ඇත. ආර්ථික ලාභය නොව වඩා වැදගත් වන්නේ රසවින්දනය යැයි සළකා එතැන් පටන් දිගු ගමනකට මනමේ නාට්‍ය මුළ පුරන්නේ එවැනි අයුරින් ය.

 

එදා පටන් අද දක්වා ම මනමේ ලාංකේය පේ‍්‍රක්ෂක ජනයා තුටු පහටු කරමින් රටවටා ගෙන යන අතර සරත්චන්ද්‍රයන් මෙළොවින් නික්මයෑමෙන් පසුව එතුමාගේ බිරිඳ වන ලලිතා සරත්චන්ද්‍රයන් එකී බර කරට ගෙන කටයුතු කරනු දැකිය හැකි වෙයි. මනමේ නාට්‍ය හේතුවෙන් දයානන්ද ගුණවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, නිශ්ශංක දිද්දෙණිය, චාලි ජයවර්ධන, ජයලත් මනෝරත්න හා සෝමලතා සුබසිංහ වැනි අද්විතීය කලාකරුවෝ රැුසක් මේ ලක් දෙරණට ජනිත කරන්නට එදවස සරත්චන්ද්‍රයන්ට හැකි විය. මෙලෙසින් විමසන කල ආරම්භයේ පටන් වසර හැටක් මුලූල්ලේ රංගගත වූ මෙකී නාටකය සැබැවින් ම ලාංකේය නාට්‍ය සම්ප‍්‍රදායට ඉමහත් මෙහෙවරක් සිදුකර ඇති වග නම් පැහැදිලිය. බිහි
 
ගයාන් අබේසිංහ