Tuesday, August 15, 2017

බිහිවිය එදවස එලෙස මනමේ...



සිංහල නාට්‍ය වංශකතාව ආලෝකමත් කළ සුවිශේෂී නාට්‍යන් අතරින් අග‍්‍රප‍්‍රාප්ත වූ නාට්‍ය කුමක්දැයි කවරෙක් හෝ විමසුවහොත් පැහැදිලිව දිය හැකි පිළිතුරක් ලෙසින් එදිරිවීර සරත්චන්ද්‍ර නම් වූ මහැදුරු විසින් නිමවන ලද මනමේ නාට්‍ය හඳුන්වා දීමෙහි සදොසක් නැත. එක්දහස් නවසයි පනස් ගණන් වලදී මෙතෙක් කල් පැවැති කෝලම් සහ නාඩගම් සම්ප‍්‍රධායන් ද ආශ‍්‍රය කර ගනිමින් ද ජාතක කතා පොතෙහි එන තුන්සිය හැත්ත දෙවන ජාතක කතාව වන චුල්ල ධනුග්ගහ ජාතකයේ ද ජපන් ජාතික අකතුතගාවා රියොනුසුකෙ ගේ නිර්මාණයක් ඇසුරෙන් අකිර කුරොසෝවා විසින් නිමවන ලද රෂෝමොන් සිනමා පටය ද යම් පමණකට සමීප කරගනිමින් සරත්චන්ද්‍රයෝ විසින් එදවස සිය මනමේ නාට්‍ය නිර්මාණය කරන්නට යෙදී ඇත. ඒ පිළිබඳව ඔහු සිය ස්ව්‍යං චරිතාපදානය ලෙසින් රචනා කර ඇති පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි මෙසේ රචනා කර ඇත.
‘‘මනමේ කතාව සින්දු නාඩගමකට ආශ‍්‍රය කොට ගත හැකිය යන අදහස මගේ සිතෙහි පිළිසිද ගත්තේ ජපානයෙහිදී හෝ ඇමරිකාවෙහිදී අකිර කුරසොව විසින් අධ්‍යක්ෂණය කරන ලද ”රෂෝමොන්” නම් චිත‍්‍රපටිය බැලීමෙන් පසු ය. ‘‘රෂෝමොන්” චිත‍්‍රපටියට ආශ‍්‍රය කරන ලද්දේ අකුතුගව නම් කතුවරයාගේ කතාවකි. මේ කතාව සාරාංශයෙන් ගත් විට අපේ චුල්ල ධනුග්ගහ ජාතකයටත් මනමේ ගැමි නාටකයටත් සමානය.”

සරත්චන්ද්‍රයන්ගේ මේ සිතුවිලි ක‍්‍රියාවලියක් බවට පත්ව පසුව නාට්‍යක් පවට පත්ව මුල්ම වරට 1956 නොවැම්බර් තුන්වෙනිදා  ලයනල් වෙන්ට්ඞ් රඟහලේ දී මනමේ රංගාභිෂේක කර අද වන විට වසර හැටක් පමණ ගෙවී ඇත. අද ඒ සුන්දර නාට්‍ය වේදියා අප අතර ජීවමානව නොවුනද අද වෙන විටත් සමස්ථ දිවයින පුරා දර්ශන වාර සිය දහස් ගණනින් රංගගත කරමින් තවමත් මනමේ නාට්‍ය සිය ගමන් චාරිකාවේ යෙදීම නම් කිසිදු අයුරකින් හෝ නොනවතා ඇත. මෙකී නාට්‍යයේ ප්‍රෙක්ෂක වැළඳ ගැනීමට එකී මිනුම් දඬුව හැර වෙන කවර මිනුම් දඬුවක් සුදුසුවේ ද?

එදා එක්දහස් නමසිය පනස් හය පමණ වන විට පේරාදෙණිය සරසවියේ ඉගැන්වීමේ කටයුතුවල යෙදෙමින් උන් සරත්චන්ද්‍රයන් ඒ වන විට නාට්‍ය කලාව පිළිබඳව හා ගැමි නාට්‍ය සම්ප‍්‍රදාය පිළිබඳව පර්යේෂණවල නියැලෙමින් උන් අවධියකි ඒ කාලය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සිංහල නාට්‍ය මණ්ඩලය බිහිව ඇත්තේ ද මේ වකවානුවේදී ය. මුල්ම කාලයේ දී පටන් විවිධ කලා කටයුතුවල නිරත වෙමින් ඉදිරියට එන මෙම සංගමයට වරක් සරත්චන්ද්‍රයන් යෝජනා කරන්නේ නාට්‍යක් කිරීම වඩාත් සුදුසු බවයි. එකී යෝජනාව මල් ඵල ගන්වමින් මනමේ නම් වූ ඓතිහාසික කටයුත්ත සඳහා සියල්ල සූදානම් වන්නේ ඉන් අනතුරුවය. රංගනය, නර්තනය හා ගායනය සඳහා සුදුසු සිසුන් සරසවියෙන් ම සොයා ගැනුම උදෙසා දැන්වීම් සරසවිය තුළ ඇළවෙන අතර කලා පීඨයේ ඉහළ මාලයේ කුඩා කාමරය සරත්චන්ද්‍රයන් විසින් සම්මුඛ පරික්ෂණ පවත්වා තිබුණා. මුල් අදියරේ දී මනමේ කුමාරයා ලෙසින් මොරටුවේ පාසලක සිට සරසවි අධ්‍යාපනයට පේරාදෙණියට පැමිණි බෙනඩික්ට් සිරිමාන්න තෝරාගෙන ඇති අතර මනමේ කුමරිය සඳහා ට්‍්‍රලීෂියා අබේකෝන් තෝරාගෙන තිබුණා. පොතේ ගුරුගේ චරිතයට තෝරා ගත්තේ ශ්‍යාමන් ජයසිංහ ය. මෙසේ සියලූ චරිත තෝරා ගත්ත ද සරසවියේ පැවැති සම්මුඛ පරික්ෂණයේ දී තේජවන්ත දේහධාරී වැදි රජකු සොයා ගැනීමට ලැබී නැහැ. පසුව වැදි රජු නුවර දළඳා මන්දිරය ආශ‍්‍රිත සැනකෙළියක දී හදිසියෙන් ඇස ගැසුණු අයෙක් සොයා ගෙනවුත් ඔහුට වැදි රජුගේ චරිතය ලබා දී ඇති අතර හේ නමින් එඞ්මන්ඞ් විජේසිහය. වැදි රජුගේ සේ ම පසුව රාජගුරුගේ චරිතය ද ඔහු විසින් රංගගත කරනු ලැබෙන්නේ මේ අහඹු හමුව දුර දිග යෑම ඔස්සේ ය. 


කෙසේ වුවත් මේ නළු නිළියන් සියල්ලෝම සිය දක්ෂතාවයන් උපරිම තත්ත්වයෙන් පෙන්වා ලමින් පේ‍්‍රක්ෂක සිත් සතන් වසඟයට ගනු ලැබ ඇති අතර  සරත් අමුණුගමයන් සිය මනමේ මතක් වී නැමැති කෘතිය තුළ ඒ පිළිබඳව මෙසේ සඳහන් කර තිබීමෙන් ම එය වටහා ගත හැකියි.
‘‘ඉස්සර සරසවි සිසුන් හැටියට අපි මහනුවර පුෂ්පදාන ශාලාවේ මනමේ රඟ දක්වන සෑම විටම පාහේ එය නැරඹීමට ගියෙමු. නාට්‍ය නැරඹීමෙන් පසු අප සිසු කණ්ඩායම පේරාදෙණිය මල්වත්ත අසල සිට සංඝමිත්තා ශාලාව වෙත මනමේ ගී ගයමින් හඳපානේ ඇවිදගෙන ආ හැටි දැනුත් මට මතක් වෙයි. පේරාදෙණියේ සිසු සිසුවියන් වැඩි දෙනෙකු නාට්‍ය ශාලාවට එක් රොක් වුණු දවස්වල නළු නිළියෝ ද විශේෂ උනන්දුවකින් රඟ දැක්වූහ. ශ්‍යාමන් වෙනදාට වඩා සිනාසුණේය. රාජගුරු වශයෙන් එඞ්මන්ඞ් වැරෙන් බොරු රැුවුළ කැරැුකැවුවේ ය. ට්‍්‍රලීෂියා වෙනදාට වඩා උකුළ පද්දමින් නැටුවා ය.’’

මෙලෙසින් පූර්ණ කැපවීමෙන් යුක්තව මනමේ මුල්ම රංග කණ්ඩායම ස්වකීය රංගනයන්ගෙන් මනමේ හැඩ ගැන්වීමත් යම් අයුරකින් ඒ මුල්ම අවදියේදීත් මනමේ සඳහා මේ තරම් පේ‍්‍රක්ෂක අවධානයක් දිනා ගැනීමට හේතුවන්නට ඇත. මෙම මුල්ම මනමේ කාර්යට  සම්බන්ධ වූ රංගන ශීල්පීන් පිළිබඳව ද සරත්චන්ද්‍රයන් සිය පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි දක්වා ඇත්තේ ‘‘මෙතරම් දක්ෂ නළු නිළි පිරිසක් ලැබුණේ මගේ භාග්‍යයට පමණක් නොව රසිකයන්ගේ ද භාග්‍ය නිසා ය.’’ යනුවෙන් ය. 

මෙලෙසින් නාට්‍ය සඳහා රංගන ශිල්පීන් තෝරාගත් පසුව සරත්චන්ද්‍රයන් සිය නාට්‍යයේ පුහුණුව සහ අවශේෂ කටයුතු සඳහා විශේෂ අයෙකුගෙන් උපකාර ගනු ලැබ ඇත. ඒ  නාඩගම් සම්ප‍්‍රදායේ මහ ඇදුරු ලෙස සැලකූ බළපිටියේ අම්පේ උපන් චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ ය. ගැමි නාට්‍ය කලාවත් නාඩගම් ආදිය ගැනත් එතුමාණන්ගෙන් සරත්චන්ද්‍රයන්ට ඉමහත් දැනුම් සම්භාරයක් සැපයී ඇති අතර නාට්‍යයේ රංගවෙස් ගැන්වීම් සිදුව ඇත්තේ එවකට සරත්චන්ද්‍රගේ බිරිඳ වූ අයිලින් සපරමාදු මහත්මියගෙන් ය. ඇඳුම් මෝස්තර නිර්මාණය කර ඇත්තේ සිරී ගුණසිංහ මහතාය.

පිටපත සකසා නාට්‍ය පුහුණුව සිදුකර ඇත්තේ ද සරසවි බිම තුළ දී ය. ඒ සංඝමිත්තා නේවාසිකාගාරය අසල ඇති සරත්චන්ද්‍රයන්ගේ නිවාසය ආශ‍්‍ර භූමියේ ය. නාට්‍ය රංගනය සියුම් නිරීක්ෂණය කරමින් වැරදි අඩුපාඩු සකසමින් ඉතා වෙහෙසකර ලෙසින් ගෙවුනු මේ දිනවල රංගනයේ යෙදුනු බොහෝ දෙනා වෙනුවෙන් ආහාර පාන පවා සැකසී ඇත්තේ සරත්චන්ද්‍රයන්ගේ නිවසේ ය. දුර බැහැර ප‍්‍රදේශ වලින් නාට්‍යට සම්බන්ධ වූවන් නාට්‍ය පුහුණුව අවසානයේ ගෙනගොස් ඇරලා ඇත්තේ ද සරත්චන්ද්‍රයන් ගේ ම රථයෙන් ය. ඒ උත්තුංග නාට්‍යවේදියාගේ ඒ කැපකිරීම් ද මෙවන් විශිෂ්ඨ ගණයේ නාට්‍යක් බිහිවීම සඳහා එසේ බලපාන්නට ඇත. අමරදේවයන් ගේ සංගීතයෙන් හැඩවූ මේ පුහුණුව පුරා මාස තුනක් තිස්සේ සිදුකර නාට්‍ය මුල්ම වරට කරළියට එන්නේ 1956 නොවැම්බර් 03 වෙනිදාවක ය. ඒ ලයනල් වෙන්ට්ඞ් රඟහලේ දී ය. හෙළ නාට්‍ය සම්ප‍්‍රදාය අමතක කරදමා උන් මධ්‍යම පන්තික බොහෝ දෙනා මෙවැනි නාට්‍ය නැරඹුම පහත් ක‍්‍රියාවක් ලෙසින් සැලකූ අතර එබැවින් එම පළමු දර්ශන වාරයේ දී නාට්‍ය නරඹන්නට පැමිණ ඇත්තේ පේ‍්‍රක්ෂකයන් විසි දෙනෙකු පමණි. එහෙත් සාර්ථකව නාට්‍ය පෙන්වා නාට්‍ය පෙන්වූවන් ට රුපියල් පහළොව බැගින් දෙන්නට ද සරත්චන්ද්‍රයන් නොමසුරුව ඇත. ආර්ථික ලාභය නොව වඩා වැදගත් වන්නේ රසවින්දනය යැයි සළකා එතැන් පටන් දිගු ගමනකට මනමේ නාට්‍ය මුළ පුරන්නේ එවැනි අයුරින් ය.

 

එදා පටන් අද දක්වා ම මනමේ ලාංකේය පේ‍්‍රක්ෂක ජනයා තුටු පහටු කරමින් රටවටා ගෙන යන අතර සරත්චන්ද්‍රයන් මෙළොවින් නික්මයෑමෙන් පසුව එතුමාගේ බිරිඳ වන ලලිතා සරත්චන්ද්‍රයන් එකී බර කරට ගෙන කටයුතු කරනු දැකිය හැකි වෙයි. මනමේ නාට්‍ය හේතුවෙන් දයානන්ද ගුණවර්ධන, බුද්ධදාස ගලප්පත්ති, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, නිශ්ශංක දිද්දෙණිය, චාලි ජයවර්ධන, ජයලත් මනෝරත්න හා සෝමලතා සුබසිංහ වැනි අද්විතීය කලාකරුවෝ රැුසක් මේ ලක් දෙරණට ජනිත කරන්නට එදවස සරත්චන්ද්‍රයන්ට හැකි විය. මෙලෙසින් විමසන කල ආරම්භයේ පටන් වසර හැටක් මුලූල්ලේ රංගගත වූ මෙකී නාටකය සැබැවින් ම ලාංකේය නාට්‍ය සම්ප‍්‍රදායට ඉමහත් මෙහෙවරක් සිදුකර ඇති වග නම් පැහැදිලිය. බිහි
 
ගයාන් අබේසිංහ

No comments:

Post a Comment