දෙමාපියන්
කිහිප දෙනෙක් ගෙ ඉල්ලීමක් අහක දාන්න බැරිම තැනක ඊයෙ මෙවර සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න
ළමුන් කණ්ඩායමකට සාහිත්‍ය රසවින්දනය ගැන කියාදෙන්න සිද්ධවුණා. සාහිත්‍ය රසවින්දනය
පැයෙන් දෙකෙන් කතා කරලා හමාර කරන්න පුලුවන් දෙයක් නොවෙන හින්දා මං තෝරා ගත්තෙ රත්න
ශ්‍රී සර්ගෙ වස්සානෙ ගැන කතා කරන්න. වස්සානෙ ගැන කියන්න ගිහින් අන්තිමට රත්න ශ්‍රී
සර්ගේ නිර්මාණ කිහිපයක් ගැන වගේ ම කවිය ගැනත් ටිකක් ගැඹුරට කතා කරන්න සිද්ධ වුණා.
ගෙදර ඇවිත්
රැය පාලුවෙන් ගෙවෙද්දි හදිසියේ ම ආයෙමත් වස්සානය කියවීමේ සිතිවිල්ලක් මගේ හිත
ඇතුලෙ තෙරපෙන්න පටන් ගත්ත. රාත්‍රියේ පාලු අදුරත් එක්ක මං මගේ පොත්ගුලෙන් වස්සානෙ
අරන් පිල්කඩේ වාඩි වුණා. පිළිවෙළක් නැතිව පොත් පිටු පෙරළෙද්දි වස්සානෙ එක්ක මගේ
හිත ආයෙමත් තනිවෙන්න ගත්තා.
‘‘ගිම්හානයේ ගිලන් වී කෘෂ ව සුදුමැලි වඇදි ඇදී ඉකිගැසූ ගග නැවත පිරිපුන්යදුෂ්කරය කියා හැර යායුතු ද ජීවිතයකටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස“
ඇත්ත... ජීවිතේ
හැමදාමත් සැප රැදෙන්නෙ නැහැ. දුෂ්කරතා බාධක අපමණයි. අසමත් වී ම් කඩා වැටීම් මේ ජීවිත
ගමන් මග අතරෙ මොනතරම් නම් තියෙනවා ද? ඒත් ඒක එහෙමයි කියලා ජීවිතය අත් හැරලා යන්න
පුලුවන් ද? පහුගිය කාලෙ පුරාවට අපි පත්තර වල දැක්ක දෙයක් තමයි විභාගය අසමත් වීම
නිසා සියදිවි හානිකර ගත් සිසුන් එන්න එන්න ම වැඩිවෙන එක. ඉතින් අපිට මේක නවත්වන්න
බැරිද? රත්න ශ්‍රී සර්ගෙ වස්සානෙන් ම අපිට ඒ කඩා වැටෙන දරුවන්ට ජීවිතය දරා ගන්න
හැටි කියාදෙන්න බැරිද? ඉඩෝර කාලෙ වේලිලා මියැදිලා වැලි තලා මතු වුනත් වස්සානෙදි මහ
වැස්සත් එක්ක ඒ මියැදුනු ගගම මොනතරම් සුන්දර ව ගලා යනවා ද? ජීවිතෙත් එහෙම නේද
කියලා මට හිතෙනවා වගේ ම වස්සානෙ කියවන දරුවන්ට අපි තේරුම් කරන්න ඕන කියලා මේ මහ
රැයේ මට හිතෙනවා.
මං ජීවත් වෙන්නෙත්
හුලංදාව වගේ ම දුෂ්කර පළාතක නිසා මේ සමහර කාව්‍යානුභූති මටත් විදින්න හැකියි. අපේ
පළාතෙත් තාමත් පුංචි ඉස්කෝල තියෙනවා.. අල්ලක් පුරවා දැනුම ගෙනියන්න කණකොක් පාට
ඇදුමක් ඇදගෙන රබර් බාටවත් නොදැම්ම නිරුවත් පා වලින් පොළොව සිඹගෙන පුංචි උන් ඒ
ඉස්කෝලවලටත් පෙළට එනවා මං මගේ ඇස් දෙකින් ම දැකලා තියෙනවා. රත්න ශ්‍රී සර් ගේ
වන්නි ගම්දොර කවි පෙළත් එක්ක මං මොහොතකට අතරමං වෙන්නෙ මේ මහ රැයේ අන්ධකාරය
මැද්දෙන් මට ඒ රූපරාමුව මැවිලා පේන නිසායි.
‘‘මල් පිපී හෝඩි පොතේරොනට ඇදෙන ළමාරොන් උරා හාමතේ මමී බදින ළමාගෙමිදුලේ වැල්ලේ හිදපොත උකුලේ තියානිම් නැති සංසාරේසිහින දකින ළමා“
දරුවන්ගේ හීන විතරක්
නෙවෙයි. ඒ දරුවන්ගේ හීන කවමදාක හරි හැබෑ කරන්න වෙහෙසවෙන දෙමාපියන්ගේ හීනත් මං මේ
ගම් තුලානෙදි දැකලා තියෙනවා. දවස තිස්සෙ ගිනි අවුකාස්ටකේ මහ පොළොව එක්ක හැප්පෙන
තාත්තා කෙනෙක් හරි හමන් අස්වැන්නක් ගන්න බැරිව ලත වෙන හැටිත්... ලැබුණු අස්වැන්න
නගරෙට විකුණලා ලද සොච්චමෙන් ණය තුරුස් ගෙවලා හිස් අතින් ගෙදර එද්දි ඒ ඇස් අස්සෙ
පිරිලා තියෙන දුකත් මම දැකලා තියෙනවා. ඒ වගේ තාත්තා කෙනෙක් ගේ හිතේ තමන්ගේ
දරුවන්ගේ හීන ගැන මොනතරම් බලාපොරොත්තු කන්දක් ඇත් ද? අනුභූතිය සියයට සියයක් සමාන
නොවුණත් මේ පදවැල් අස්සෙ මට ඒ දේවල් හිතෙනවා.
‘‘ සාක්කුව හිල් වීසන්තෝෂය මග වැටීපයේ ගල් මුල් හැපෙමින්කැළැන්ඩර් කොළ සිතින් කඩමින්කලුවරේ ගෙදර එමිටොපියකට හිනැහෙනපුංචි දුවගේ අතගෙනහිතේ දුක ගුලි කොටතබා සුසුමක් හෙළමි හෙමිහිට“
වස්සානෙ පුරාවට තියෙන
මේ සුන්දර කවි අහුරු අපේ හිත් මොනතරම් නම් සනසනවා ද.? මට හදිසියෙම මතක් වෙන්නෙ
රත්න ශ්‍රී සර් ගැන කතාවට වැටුණම අනිල් අයියා නිතර කියන දෙයක්. ඒ තමයි ‘‘මල්ලි රත්න ශ්‍රී සර්ට ඒ කාලෙ ඔය දේශපාලන
දඩුවම් මාරුව දුන්න ආණ්ඩුවට අපි පිං දෙන්න ඕන... මොකද ඒ හුලංදා ගමන නිසානෙ අපිට
අදටත් විදින්න මේ තරම් සුන්දර කවි අහුරක් ලැබුනෙ“ කියන එක. ඇත්ත තමයි බලාන ගියාම ඒ
කතාවත්.
මේ ඔක්කම අවසානෙ මං
කියවන්නෙ සමුගැනීමෙ කවිය. ඒක වස්සානෙ කියෝන කොට මං පුරුදු වෙච්ච දෙයක්. මේ ජීවිතේ
තව කොයි කාලයක් අපි ජීවත් වෙයිද කියන්න දන්නෙ නැහැ. ඒ කාලෙදි තව මොනතරම් කඩා
වැටීම් සිත් රිදීම් පරාජයන් උරුම වෙයිද කියන්නත් ම අපි දන්නෙ නැහැ. ඒත් ඒ හැමදේ
එක්කම අපි ඉස්සරහට යා යුතුයි.
‘‘ආ ගමන හරි දුෂ්කරයිඅප විටෙක ඇද වැටුණා සැබැයිඑහෙත් නතරව එතැනවැලපිය යුතු නොවෙයි- අප යා යුතුයි“
@ ගයාන් අබේසිංහ
No comments:
Post a Comment