Sunday, July 29, 2018


වැස්සකට අර අදින අහස යට 
මගේ කැමරා කාචයේ සටහන් වුණ දසුනක්

Wednesday, January 10, 2018

මනරම් කවිකම් බිහි (නො)වන අද






මට නිතර ම අලූත් කවි කිවිඳියො එයාලගෙ කවිපොත් එවනවා. එහෙම එවලා ගොඩක්  අය ගුණ දොස් අහනවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ එහෙම ගුණ දොස් අහන වෙලාවට ඒකෙ දෝෂයක් කියුවම අහන අයගේ මූණ ඇඹුල් වෙලා යන එක. ඇත්ත කතාව තමයි බොහෝමයක් නවක කවි කිවිඳියොන්ගේ කාව්‍ය අනුභූති තෝරා ගැන්මේ පටන් ම තියෙන්නෙ අවුල් සහගත බවක්. ඒත් නැත්තම් ඒ අනුභූතිය ප‍්‍රකාශනයට භාවිත කරලා තියෙන භාෂාවෙ තියෙන නොවිදිමත් බව. නැත්තම් රස ජනනයක් සිද්ධ නොවී වාර්තාමය ස්වරූපයක් දක්නට ලැබීම. මේ වගේ දහසකුත් එකක් ප‍්‍රශ්න ඒ කවිපොත්වල තියෙන කවිවල තියෙනවා. හැබැයි ඒ හැම කවි පොතකම තියෙන පොදු ලක්ෂණයක් තමයි අවම වශයෙන් කවි හතලිහක් ඒ පොතක තිබ්බොත් අඩුම ගුණාත්මක මට්ටමේ කවි කිහිපයකුත් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නෙ ඒ අයට යම් කාව්‍යමය හැකියාවක් තියෙනවා 

ඒත් ඔය අතරිනුත් සමහර අය ඉන්නවා එයාලගේ පළමු කාව්‍ය සංග්‍රහයෙ උනත් ආධුනික ලක්ෂණයක්වත් පෙන්වන්නෙ නැති තරම් සාර්ථක කවි ලියන අය. මේ දවස්වල මං ශානි ශෂි කියලා මුහුණු පොතේ කවි ලියුව නිර්මාණකාරිණියක්ගේ කවි පොතක පෙරවදන ලියන්න පොත කියවන ගමන් ඉන්නෙ. ඇත්තටම ඒ කවි සාර්ථක මට්ටමක තියෙනවා. 
 
අර මම කලින් කියුව කවි කිවිදියන්ගේ කවිවල දුර්වලතා තියෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි මේ නවක කවි කිවිඳියෝ සතතාභ්‍යාසයේ නිරත නොවීම. අපි හොඳින් ම දන්න දෙයක් තමයි හොඳ කවියක් නිර්මාණය සඳහා කවියෙක් සතු විය යුතු ලක්ෂණ තුනක් තියෙනවා. එකක් ව්‍යුත්පත්තිය, අනික සතතාභ්‍යාසය ඊළඟ එක ප‍්‍රතිභාව. ඒත් අවාසනාවකට මේ පිළිබඳ නූතන පරපුරේ නවක කවි කිවිඳියොන්ගේ ඒ තරම් සැලකිල්ලක් නැහැ. 

ඔතනින් සතතාභ්‍යාසය කියලා කියුවෙ නැවත නැවත අභ්‍යාසයේ නිරතවීම. ඒ කියන්නෙ අපි කරන පළමු කාව්‍ය නිර්මාණයම සාර්ථක කාව්‍ය නිර්මාණයක් කියලා අපි විසින් ම විනිශ්චය නොකර නැවත නැවත තව නිර්මාණ කරන්න  ඕන. එතකොට තමයි කාව්‍ය ශක්තිය මුවහත් වෙන්නෙ. ඒත් බොහෝමයක් කවියෝ කරන්නෙ කොළයක් අරන් කවියක් ලියලා ඒකෙ අඩුපාඩු ගැන කිසිම විදියකින් සැලකිලිමත් නොවී ඒක තමයි හොඳම කවිය කියලා විශ්වාස කරනවා. ඒත් එළියෙන් බලන් ඉන්න අය දන්නවා ඒ කවිය සාර්ථක නැහැ කියලා. ඒ නිසා නැවත නැවත කාව්‍ය අභ්‍යාසයන් වල නිරත වෙන අයට විතරයි පුලූවන් වෙන්නෙ හොඳ නිර්මාණ බිහි කරන්න. 



අනික් එක තමයි කවි ලියන්න නම් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. පොත පත පරිශීලනය කරලා තිබිය යුතුයි. එහෙම නැති වුනොත් ඒ කවි ඇතුලේ තියෙන්නෙ හිස් කමක්. සාහිත්‍ය කෘතීන් අතරිනුත් වෙනත් ලේඛකයන්ගේ කාව්‍ය කෘතීන් භාවිත කිරීම විශිෂ්ඨ කවියන්ගේ ආභාෂය ලබන්න අතිශය වැදගත් වෙනවා. සරලව කියුවොත් අනුකාරකයක් නොවී ආභාෂය ලබන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒක පැහැදිලිය හඳුනා ගන්න අපිට උදාහරණයක් අර ගන්නත් පුලූවන්.


‘‘ඔබා දෙදණ නිල් උඳුපියලි බිම මත
වැන්දේ ය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට
පිපිලා තිබුණි එතැන සුදුපාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ය ඔහු එමල නමා හිස’’


මේ උඩින් තියෙන කවිය ලියලා තියෙන්නෙ මහගම සේකර. එතුමාගේ ප‍්‍රබුද්ධ කෘතියේ තිස් එක්වෙනි පිටුවෙ තමයි අපිට මේ කාව්‍ය කොටස හමු වෙන්නෙ. දැන් අම්මා ගැන අපේ ප‍්‍රකට ගේය පද රචකයෙක් ලියන මේ ගීතයේ ආරම්භය බලන්න. මේ ගීතය ගයන්නෙ අජිත් බණ්ඩාර.


‘‘ඔබ  නිදනා සීතල පොළොවේ
මලක් පිපීලා නමක් නැතී
ඔබා දන බිම නැමී සිප ගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ
අම්මා... අම්මා...’’


කලින් කියුව සේකරගේ ප‍්‍රබුද්ධ කෘතිය මේ රචකයා කියෝලා තියෙනවා වෙන්න  ඕන. මොකද සේකරගේ කවියේ ආභාශය යම් තරමින් මේ දෙවැනි ගේය පද රචනයට හෙවනැල්ලක් වෙලා තියෙනවා. හැබැයි ඒක සේකරගේ කවිය කියෝලා කරන කොපි කිරීමක් නම් නෙවෙයි. සමහර වෙලාවට මේ ගේය පද රචකයා සේකරගේ කවිය කියවලා තියෙන්න ඇත්තෙ මේ ගේය පද රචනය ලියන්න අවුරුදු දෙක තුනකට හෝ ඊටත් එපිට කාල සීමාවක දී වෙන්න පුලූවන්. ඒත් ඒ නිර්මාණය අවිඥානය තුළ රැඳී තිබිලා පසුව ඒක ඉස්මතු වෙලා තමයි තියෙන්නෙ. ඒක තමයි සැබෑවටම කවියෙක්ට ව්‍යුත්පත්තිය අවශ්‍ය යැයි කියලා කියන්නෙ.
නමුත් ආවාසනාවන්ත කාරණය තමයි අද බොහෝමයක් නූතන තරුණ කවියොන්ට ව්‍යුත්පත්තිය තියෙන්නෙ හරි විරලව. ඒකට හේතුව තමයි බොහෝ දෙනා පොත පත පරිශීලනය කරන්නෙ නැතිකම. මට පුංචි සිද්ධියක් මතක් වෙනවා ඔය ව්‍යුත්පත්තිය ගැන කතා කරද්දි. 

මං දන්න එක කිවිඳියක් ඉන්නවා. මේ වෙද්දි පොත් කිහිපයක් ම පළකරලා තියෙන්නෙ. එයාගේ යම් පමණක කාව්‍ය ශක්තියක් තියෙනවා. ඒත් ඇය කවි ලියන්න කලින් කරන එක්තරා ක‍්‍රියාවක් නම් මගේ සිත් ගන්නෙ නැහැ. ඇය කවි ලියන්න කලින් වෙනත් සාර්ථක කවියන්ගේ කවි කියෝලා ඒවගේ තියෙන වචන එහෙම් පිටින්ම කොපි කරනවා සහ ඒ සාර්ථක කවීන් සිය කවිවලට අනුභූති හැටියට භාවිත කරලා තියෙන අනුභූතිම තමන්ගේ කවියටත් අනුභූති කරගන්නවා. එහෙත් ඒ ගැන ඇයට තේරුම් කරන්න ගියාම ඇය කියන සරලම උත්තරය තමයි වචන කියන්නෙ පොදු දෙයක්. ඒ වචන ඒ කලින් කවියන්ගේ දේපලක් නෙවෙයිකියලා යි. ඒත් අවාසනාවට ඇයට තේරෙන්නෙ නැහැ එහෙම කරන එකෙන් සිද්ධ වෙන්නෙ අවම වශයෙන්වත් ඇය සතුව තිබුණ කාව්‍ය ශක්තිය නිකම්ම පිරිහිලා යනවා කියන එක. 

කොහොම නමුත් අද කවියන්ගෙ මේ වගේ වැරදි ගැන කතාකරන්න හිතුවෙ සිසිර ගමගේ මහත්මයා නිතරම කියන කාරණයක් සිහිපත් වෙලයි. ගොඩක් වෙලාවට එතුමා මට කියනවා ‘‘මේ අලූත් කවි කිවිඳියො ගොඩක් දක්ෂයි. ඒත් ගයාන්, එයාලට එයාලගේ වැරදි අඩුපාඩු ගැන හරියට පැහැදිලි කරලා එයාලව සාර්තකත්වයට ගෙන යන්න කවුරු හරි මැදිහත් වෙනකල් ඒ අය බොහෝ දෙනෙක් නිසි මග යන්නෙ නැහැ‘‘ යි කියලා. ඒ නිසාම මේ කාරණා ටික ලියන්න හිතුවා මම. කොහොම උනත් තව දෙයක් ආයෙමත් මතක් කළ යුතුයි. ඒ තමයි මං කියුව මේ කරුණ අලුතින් කවි ලියන හැමෝටම අදාල වෙන්නෙ නැහැ. මොකද සමහර අලුත් පොත් කරන නෑඹුල් කවි කිවිදියො ඉන්නවා හරි සුන්දරයි එයාලගේ නිර්මාණ. ඔය දනන් තුඩ තුඩ ජනප්‍රිය නිර්මාණකරුවන් ගෙ නිර්මාණවලට පවා එයා යන සාර්ථක නිර්මාණ ඒ නවක අය බිහි කරනවා.

කොහොම උනත් කවි ලියන ඔබට මම හරි ආදරෙන් කියන්නෙ අමතක නොකර මේ ගැන හිතන්න.. සතතාභ්‍යාසයේ යෙදීමෙන් හා ව්‍යුත්පත්ති ඥානය ලැබීමෙන් දවසක ඔබට දක්ෂ කවියෙක් වෙන්න මග තැනෙන ප්‍රතිභාව ලැබෙන එක නම් ඒකාන්තයි.

@ ගයාන් අබේසිංහ

Monday, January 8, 2018

හිත්මානේ දැවටෙන වස්සානේ සුවද






දෙමාපියන් කිහිප දෙනෙක් ගෙ ඉල්ලීමක් අහක දාන්න බැරිම තැනක ඊයෙ මෙවර සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ළමුන් කණ්ඩායමකට සාහිත්‍ය රසවින්දනය ගැන කියාදෙන්න සිද්ධවුණා. සාහිත්‍ය රසවින්දනය පැයෙන් දෙකෙන් කතා කරලා හමාර කරන්න පුලුවන් දෙයක් නොවෙන හින්දා මං තෝරා ගත්තෙ රත්න ශ්‍රී සර්ගෙ වස්සානෙ ගැන කතා කරන්න. වස්සානෙ ගැන කියන්න ගිහින් අන්තිමට රත්න ශ්‍රී සර්ගේ නිර්මාණ කිහිපයක් ගැන වගේ ම කවිය ගැනත් ටිකක් ගැඹුරට කතා කරන්න සිද්ධ වුණා.

ගෙදර ඇවිත් රැය පාලුවෙන් ගෙවෙද්දි හදිසියේ ම ආයෙමත් වස්සානය කියවීමේ සිතිවිල්ලක් මගේ හිත ඇතුලෙ තෙරපෙන්න පටන් ගත්ත. රාත්‍රියේ පාලු අදුරත් එක්ක මං මගේ පොත්ගුලෙන් වස්සානෙ අරන් පිල්කඩේ වාඩි වුණා. පිළිවෙළක් නැතිව පොත් පිටු පෙරළෙද්දි වස්සානෙ එක්ක මගේ හිත ආයෙමත් තනිවෙන්න ගත්තා. 


‘‘ගිම්හානයේ ගිලන් වී කෘෂ ව සුදුමැලි ව
ඇදි ඇදී ඉකිගැසූ ගග නැවත පිරිපුන්ය
දුෂ්කරය කියා හැර යායුතු ද ජීවිතය
කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස“


ඇත්ත... ජීවිතේ හැමදාමත් සැප රැදෙන්නෙ නැහැ. දුෂ්කරතා බාධක අපමණයි. අසමත් වී ම් කඩා වැටීම් මේ ජීවිත ගමන් මග අතරෙ මොනතරම් නම් තියෙනවා ද? ඒත් ඒක එහෙමයි කියලා ජීවිතය අත් හැරලා යන්න පුලුවන් ද? පහුගිය කාලෙ පුරාවට අපි පත්තර වල දැක්ක දෙයක් තමයි විභාගය අසමත් වීම නිසා සියදිවි හානිකර ගත් සිසුන් එන්න එන්න ම වැඩිවෙන එක. ඉතින් අපිට මේක නවත්වන්න බැරිද? රත්න ශ්‍රී සර්ගෙ වස්සානෙන් ම අපිට ඒ කඩා වැටෙන දරුවන්ට ජීවිතය දරා ගන්න හැටි කියාදෙන්න බැරිද? ඉඩෝර කාලෙ වේලිලා මියැදිලා වැලි තලා මතු වුනත් වස්සානෙදි මහ වැස්සත් එක්ක ඒ මියැදුනු ගගම මොනතරම් සුන්දර ව ගලා යනවා ද? ජීවිතෙත් එහෙම නේද කියලා මට හිතෙනවා වගේ ම වස්සානෙ කියවන දරුවන්ට අපි තේරුම් කරන්න ඕන කියලා මේ මහ රැයේ මට හිතෙනවා.

මං ජීවත් වෙන්නෙත් හුලංදාව වගේ ම දුෂ්කර පළාතක නිසා මේ සමහර කාව්‍යානුභූති මටත් විදින්න හැකියි. අපේ පළාතෙත් තාමත් පුංචි ඉස්කෝල තියෙනවා.. අල්ලක් පුරවා දැනුම ගෙනියන්න කණකොක් පාට ඇදුමක් ඇදගෙන රබර් බාටවත් නොදැම්ම නිරුවත් පා වලින් පොළොව සිඹගෙන පුංචි උන් ඒ ඉස්කෝලවලටත් පෙළට එනවා මං මගේ ඇස් දෙකින් ම දැකලා තියෙනවා. රත්න ශ්‍රී සර් ගේ වන්නි ගම්දොර කවි පෙළත් එක්ක මං මොහොතකට අතරමං වෙන්නෙ මේ මහ රැයේ අන්ධකාරය මැද්දෙන් මට ඒ රූපරාමුව මැවිලා පේන නිසායි.


‘‘මල් පිපී හෝඩි පොතේ
රොනට ඇදෙන ළමා
රොන් උරා හාමතේ ම
මී බදින ළමා
ගෙමිදුලේ වැල්ලේ හිද
පොත උකුලේ තියා
නිම් නැති සංසාරේ
සිහින දකින ළමා“


දරුවන්ගේ හීන විතරක් නෙවෙයි. ඒ දරුවන්ගේ හීන කවමදාක හරි හැබෑ කරන්න වෙහෙසවෙන දෙමාපියන්ගේ හීනත් මං මේ ගම් තුලානෙදි දැකලා තියෙනවා. දවස තිස්සෙ ගිනි අවුකාස්ටකේ මහ පොළොව එක්ක හැප්පෙන තාත්තා කෙනෙක් හරි හමන් අස්වැන්නක් ගන්න බැරිව ලත වෙන හැටිත්... ලැබුණු අස්වැන්න නගරෙට විකුණලා ලද සොච්චමෙන් ණය තුරුස් ගෙවලා හිස් අතින් ගෙදර එද්දි ඒ ඇස් අස්සෙ පිරිලා තියෙන දුකත් මම දැකලා තියෙනවා. ඒ වගේ තාත්තා කෙනෙක් ගේ හිතේ තමන්ගේ දරුවන්ගේ හීන ගැන මොනතරම් බලාපොරොත්තු කන්දක් ඇත් ද? අනුභූතිය සියයට සියයක් සමාන නොවුණත් මේ පදවැල් අස්සෙ මට ඒ දේවල් හිතෙනවා. 


‘‘ සාක්කුව හිල් වී
සන්තෝෂය මග වැටී
පයේ ගල් මුල් හැපෙමින්
කැළැන්ඩර් කොළ සිතින් කඩමින්
කලුවරේ ගෙදර එමි
ටොපියකට හිනැහෙන
පුංචි දුවගේ අතගෙන
හිතේ දුක ගුලි කොට
තබා සුසුමක් හෙළමි හෙමිහිට“


වස්සානෙ පුරාවට තියෙන මේ සුන්දර කවි අහුරු අපේ හිත් මොනතරම් නම් සනසනවා ද.? මට හදිසියෙම මතක් වෙන්නෙ රත්න ශ්‍රී සර් ගැන කතාවට වැටුණම අනිල් අයියා නිතර කියන දෙයක්. ඒ තමයි  ‘‘මල්ලි රත්න ශ්‍රී සර්ට ඒ කාලෙ ඔය දේශපාලන දඩුවම් මාරුව දුන්න ආණ්ඩුවට අපි පිං දෙන්න ඕන... මොකද ඒ හුලංදා ගමන නිසානෙ අපිට අදටත් විදින්න මේ තරම් සුන්දර කවි අහුරක් ලැබුනෙ“ කියන එක. ඇත්ත තමයි බලාන ගියාම ඒ කතාවත්. 



මේ ඔක්කම අවසානෙ මං කියවන්නෙ සමුගැනීමෙ කවිය. ඒක වස්සානෙ කියෝන කොට මං පුරුදු වෙච්ච දෙයක්. මේ ජීවිතේ තව කොයි කාලයක් අපි ජීවත් වෙයිද කියන්න දන්නෙ නැහැ. ඒ කාලෙදි තව මොනතරම් කඩා වැටීම් සිත් රිදීම් පරාජයන් උරුම වෙයිද කියන්නත් ම අපි දන්නෙ නැහැ. ඒත් ඒ හැමදේ එක්කම අපි ඉස්සරහට යා යුතුයි.


‘‘ආ ගමන හරි දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා සැබැයි
එහෙත් නතරව එතැන
වැලපිය යුතු නොවෙයි- අප යා යුතුයි“


@ ගයාන් අබේසිංහ

Tuesday, November 21, 2017

යථාර්ථවාදී පේ‍්‍රමයට ඉඟි තබන දම්මි සුගත් පෙම් පුවත




ලාංකේය නවකතා ගමන් මග දෙස නැවත හැරී බලන කළ හැට හැත්තෑව දශකයන් හි දී වඩාත් විශාල වූ පේ‍්‍රක්ෂක ජනප‍්‍රසාදය දිනා ගත් නවකතා කරුවන් අතර කරුනාසේන ජයලත් නම් ඒ සුන්දර නවකතා කරුවාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ජයලතුන් අතින් බිහි වූ බොහෝමයක් නවකතාවන් හි එන චරිත අභව්‍ය චරිත නොව මේ මිනිස් පුරයේ අද ද දැකගත හැකි යථාර්ථවාදී චරිතයන් වන බැවින් ඔහුගේ නවකතා වලට මේ තරම් ජනවරමක් හිමිවන්නට ඇති බව බොහෝ විචාරකයන් පවසයි.

කරුණාසේන ජයලතුන් විසින් රචිත සුගත්ගේත් දම්මිගේත් කතාව වූ ගොලූහදවත එදවස හැට හැත්තෑව දශකයන් හි දී භද්‍රහෞවන මානවක මානවිකාවන්ගේ පේ‍්‍රමාන්විත ජීවිතයන්හි සංකේතයක් වූ බැව් නම් සැබෑවක්ම ය. පසුකලෙක හැට ගණන්වල අග භාගයේ දී ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් මෙතෙක් අච්චු අකුරු ඔස්සේ සහෘද හදවතට සමීපස්ථ වූ එකී නවකතාව රූප මාධ්‍ය ඔස්සේ සිනමාත්මකව ආගමනය වීමත් සමඟින් සුගත් සහ දම්මි ජීවමානව නේත‍්‍ර අස ගැවසීම ඇරඹෙයි. එවක පටන් අද මේ දක්වා ම වරින් වර ගීතයන්ට පාදක වෙමින්ද වරින් වර නේක කතිකාවන්ට පාදක වෙමින් ද සුගත් හා දම්මි අප අතර වෙසෙයි.


‘‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා
පවුරු බැඳගෙන සිතක වැජැඹුනු රසවතී නෑ කොයි ගියා

ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි

මහා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැඟුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැලූම්

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි...’’

(පද- කරුණාසේන ජයලත්)

කෙසේ නමුත් සුගත් ගේ ද දම්මිගේ ද ඒ පෙම්පුරාවත එදා මෙන් ම අද ද තරුණ යැයි පැවසීමේ වරදක් නොමැති ය. ඒ ගොලූ හදවත වනාහී සුන්දර පේ‍්‍රම ගෙත්තමක්  වන නිසාවෙන් ම ය.
‘‘ළමා වියත් යොවුන් වියත් අතර මල් මෙන් පියකරු, කුරුල්ලන් මෙන් නිදහස් ජීවිතය රසබර ය, විචිත‍්‍රවත් ය, වර්ණවත් ය. මේ රසබර වූත් වර්ණවත් වූත් ජීවිතයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් ද අනුරාගයෙන් ද පෝෂිත වූ ළපටි සිතක පහළ වන රසවත් හැඟීම් මුලූ ජීවිත කාලයේ ම උපුටා දැමිය නොහැකි තරම් ශක්තිමත් ව හා ස්ථිර ව පැළපැදියම් වීම ස්වභාවික න්‍යායකි. ’’

ජයලතුන් ස්වකීය නිමැවුම අරඹන්නේ එලෙසින් ය. සැබැවින් ම සුගත් හා දමයන්ති අතර පැවැතුනේ පේ‍්‍රමයකි. ප‍්‍රකාශිත පේ‍්‍රමයට වඩා අප‍්‍රකාශිත පේ‍්‍රමය සුන්දර වග හදවතට තට්ටු කර විමසන කල්හි අප සෑම අයෙකුට ම දැනෙනු ඒකාන්තය. ඉදින් සිප් බිම පුරා කෙළිදෙළෙන් ගෙවෙන මේ හිරිමල් භද්‍ර යෞවනයේ පසුවූ සුගත් ගේ ද දම්මිගේ ද හදසන්තානයන් හි මිහිරෙන් පිරුණු ඒ ආනන්දනීය හැඟුම පේ‍්‍රමය ම ය. දෑසින් තැබූ ඉගියෙන් ඇරඹෙන එකී බැඳුම ලොවට ම රහසේ හදපුරා පෙම් ගීතිකාවෝ ලියා තබන්නේ ද යාලූ මිතුරු මිතුරියන්ගේ කෙළිකවටකමින් දිරි ලැබ පෝෂණය වන්නේ ද කොතරම් යථාර්ථවාදීව ද? එවන් පේ‍්‍රමයක අත්දැකීම් විඳ ඇති අයෙක් වෙත්නම් ජයලතුන් මවන මේ සුන්දර සිදුවීම් දාමයේ ඇලී ගැලී එය කියවන්නේ අතීත මතකයන් හි ප‍්‍රබෝධය ද හදෙහි රුවාගෙන ම ය.

සුගත් ගේ මුවින් ඔහු ඇයට එක් වර ම පේ‍්‍රමය ප‍්‍රකාශ කරන්නේ නැත. දම්මි ද එසේ ම ය. දෙදෙනා තුළ බැඳි පෙම දෙසිත තුළ ම අභ්‍යන්තරිකව පමණක් විකසිත වෙයි. දෑස් කතා කරයි. එහෙත් වදන් බවට පත් නොවෙයි. හැඟුම් සේනා මල්වරව සිත් පුරා දෝර ගලයි. එහෙත් පේ‍්‍රමය අප‍්‍රකාශිතව ම පසුවෙයි. වරින් වර වදනින් නොපැවසෙන මේ පේ‍්‍රමය පිළිබඳ රහසේ ම මෙන් සහෘදයාට ඉඟි කෙරෙයි. ආදරය උතුරා ගලා යන එවන්  සුන්දර අවස්ථා ගොලූහදවතේ ගොලූ නොවීම ගලා යයි.
‘‘ස්... ස්...’’
‘‘නැවතත් ඒ ශබ්දය නැගිණි. ශබ්දය පැමිණි දිශාව දැන් නිශ්චිතය. ඔහු කෙළින් ම දමයන්ති දෙස බැලූවේය. ඈ මිට මෙළවුණ දෙයක් ඔහු දෙසට දික් කරගෙන ‘‘ ඕනෑදැයි’’ ඇසුවා ය. ‘‘මොනවාදැ’’යි ඇසීමට තීරණය කිරීමට ඔහු අපොහොසත් විය. නැගිට ඇය වෙත ගිය ඔහු අත පෑවේ ය. ඈ වෙරළු ගෙඩි හතරක් පහක් ඔහුගේ අත්ල මත තැබුවාය. ඔහුට ඇඟිල්ලක සීතල ස්පර්ශයක් දැනී ගියේ ය.’’ 

ඒ ඔවුන් ගේ පේ‍්‍රමයයි. මුවින් නොතෙපලූ පේ‍්‍රමයයි. රාගයෙන් කිලිටි නොවූ පාරිශුද්ධ වූ හැඟීමයි. එහෙත් අවසන අප‍්‍රකාශිත බව බිඳෙයි. පේ‍්‍රමය ප‍්‍රකාශිත වෙයි. සුගත් දම්මිගෙන් පෙම අයැදියි. දම්මිගේ පිළිතුර සුගත් බලාපොරොත්තු වූවක් නොවෙයි.
‘‘අනේ සුගත් ඔයාව හම්බවෙන්නත් කලින් ඉඳලා ම මම වෙන කෙනෙක් ට ආදරය කරනවා...’’

සුගත් පසුවූ පේ‍්‍රමයේ සිහිනය බිඳ වැටී සී සී කඩව යයි. ඉදින් ඔහු අහිංසක පෙම්වතාගේ සිට මත්ලෝලී බේබද්දෙකු දක්වා රූපාන්තරණය වෙයි. සිහිනය සහ යථාර්ථය ඛණ්ඩනය කෙරෙන ඉසව්වක් ද සුඛාන්තයේ සහ දුඛාන්තයේ මායිම සලකුණු කරන ඉසව්වක් තුළදී ද සුගත් අසරණ වෙයි. එදවස සමකාලීන යුගයේ පේ‍්‍රමයෙන් පරාජිත වූවෝ ගණුලැබූ තීන්දු කිහිපයක් විය. එකක් යළි කිසිදිනෙක පෙම් නොකර සිටීමය. අනෙක මත්ලෝලියෙක් වී ම ය. එනිසා සුගත් සමකාලීන සමාජය තුළ ප‍්‍රතිබිම්බයක් සේ පෙනෙයි. 


දම්මි සුගත් ආදර අන්දරය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක් බැව් ජයලතුන්ගේ සමකාලීනයන් කිහිප දෙනෙක් කිහිප වරක් ම පවසා ඇති අයුරක් සිහිපත් වෙයි. අයෙක් පවසන පරිද්දෙන් එය හොරණ තක්ෂිලාව ඇසුරෙන් බිහි වූ සැබෑ කතාවක් පරිකල්පනයක් හා මුසුව නිමවී ඇති බවක් ය. ඒ කෙසේ කොයි ආකාරයෙන් වුවද අද ද අප අතර දම්මිලා ද සුගත් ලා ද ජීවමාන ව සිටීම නම් දැකිය හැකිය. එය එක් පසෙකින්  මේ නවකතාවෙහි ඇති යථාර්ථාවදී ස්වරූපයට ඉඟියක් තබනු නිසැක ය.
 
@ ගයාන් අබේසිංහ