Monday, August 14, 2017

බලා වැලපෙමි නෙලා ගනු බැරි - හන්තාන සිහිනේ....


ප්‍රේමය කොතරම් නම් සවුන්දර්යාත්මක ද? ප්‍රේමයේ ප්‍රහර්ශය හද සන්තානය කොතරම් නම් ආනන්දනීය කරයි ද? ප්‍රේමයේ විප්‍රවාසය ද එතරම් කර්කෂය. ඛේදාන්තමය ය.  අමරදේවයාණන්ගේ හා  උමාරියා ගේ මේ යුග ගීය අසන හැම මොහොතකම මට දැනෙන්නේ ප්‍රේමයේ මධුර මෙන් ම කටුක බවෙහි ද එකතුවක් ය. ඒ කෙසේ වුව ද මේ ගීතය ප්‍රේමයේ ලසෝ ගීතිකාවක් නොවන්නේ ද? ඉදින් පහතින් දැක්වෙන්නේ ඒ ගීතය ඔස්සේ මා කළ විදුමකි..

ජනක සිරිවර්ධනයන් විසින් රචනා කරන මේ සුන්දර නිර්මාණයට තේමා වෙන්නෙ ප්‍රේමය. දැන් අපි දන්නවා... ප්‍රේමය කොයිතරම් මනෝ ගෝචර ද කියන එක... එක පැත්තකින් ප්‍රේමයේ අමයුර වින්දනය කරන හදවතක් හරියට මල් රොන් විද ගීතිකා ගයන මී මැසි කැලක ගේ ගුම් නාදයට සමානයි කියල මා හිතනවා.. ඒ තරමට ම ප්‍රේමය හදවත් මන මෝහනීය කරනවා... ඒත් අනෙක් පසින් ගත්තම ප්‍රේමය ගැන කියනවාත් සමගම අපට මතක් වෙන අනෙක් හැගීම තමයි විප්‍රවාසය.. විප්‍රලම්භය... වියෝගය... ඉතින් ප්‍රේමය සුන්දර වන්නේ යම්තාක් ද මේ වියෝගයත් එපමණට ම වේදනා දෙනවා... එක පැත්තකින් මේ ගීතය ඇතුලෙ මේ කාරණා දෙකම කියැවෙනවා කියල මට හිතෙනවා... ඒ ඇයි කියල අපිට මේ ගීතයේ පදවැල් දිගේ යන කොට පුංචි කතාවකුත් ගොඩනගා ගෙන ඒ කරුණ විදින්න ඉඩ ලැබෙනවා...

ප්‍රේමයේ විවිධ ස්වරෑපයන් තියෙනවා කියන කරුණ අපිට අලුත් නැහැ... සමහර වෙලාවට අපි කියනවා ඒක පාසල් ප්‍රේමයක් කියල... තවත් වෙලාවට මේ ප්‍රේමය සරසවියෙදි ඇති වෙන්නත් පුලුවන්... එහෙම නැත්තම් ඒක කාර්යාලයේ දි ඇති වෙන්නත් පුලුවන් ... කොහොම උනත් ජනකගෙ නිර්මාණයට පාදක වෙන්නෙ හන්තාන අඩවියේ .. ඒ කියන්නෙ සුන්දර පේරාදෙණි සරසවි මාතාවගේ ළයගේ ඇති වූ ප්‍රේම කතාවක්...

කොහොම උනත් අපි දන්නවා නිර්මාණයක් රහ කරන්න නම් අපට අනන්තය දක්වාම රස නිශ්පත්තියක යෙදෙන්න සිද්ධවෙනවා කියන එක.. දැන් සරලව ගත්තොත් මම හිතන මේ වින්දනීය අදහස නෙවෙයි වෙන්න පුලුවන් ජනක මේ නිර්මාණය කරද්දි එයාගෙ හිතේ තිබුනෙ.. ඒක තමයි නිර්මාණයක සාර්ථකත්වය.. සාර්ථක නිර්මාණයක් නම් ඒ නිර්මාණය ඇතුලෙ අනන්ත සිතීම් කන්දරාවක් ඉතුරැ වෙනවා විදල හමාර උනාම.. කොහොම උනත් මේ ගීතය විදින්න කලින් මම කැමති මෙන්න මෙහෙම පුංචි කතාවක් කියන්න...

එක්තරා කාලයක මේ පේරාදෙණි සරසවියට වසන්තය එනවත් එක්කම ආදරෙන් වෙලුණ යුවලක් එනවා... සරසවිය තරම් සුන්දර ආදරයට කමටහන් සපයන අන් තැනක් නැති තරම් නිසාම මේ යුවල ගේ ආදරය ත් හරි ලස්සනට ගලාගෙන යනවා.. හන්තාන මේ ප්‍රේම කතා අහගෙන ඉන්න ඇති.. මහවැලිය මේ ප්‍රේමයේ රස මුසු තැන් පහල පෝෂක කලාපවලටත් හොරෙන් හොරෙන් ගිහින් කියන්න ඇති... ඒත් ... අවාසනාවට මේ ප්‍රේමය වැඩ් කල් ගලා යන්නෙ නැහැ... මේ පෙම්වතිය මේ සරසවි තරැණයාව අත්හැරල වෙනකෙකු සමග සම්බන්ධයක් ඇති කර ගන්නවා... දැන් ප්‍රේමය ජීවිතයමැයි ඇදහුව මේ තරැණ විද්‍යාර්ථයා ට.. සරසවි මානවකයාට... මේක දරා ගන්න බැරි තරම් වේදනාකාරී අත්දැකීමක් වෙනවා... ඒ නිසාම ඔහු අහිමි ඇය ගැනම හිත හිත.. කාලය ගෙවනවා... ඔය අතරෙදි තවත් සුන්දර සරසවි යුවතියක ගේ හිතේ මේ අහිංසක පරාජිත ප්‍රේමවන්තයා ගැන හිතක් පහල වෙනවා ... ඇයගේ හිතේ ඇතිවුන ඒ ප්‍රේමය කොතෙක් ද කියනවා නම් ඇයටත් මේ ආදරය අත්හැර ගන්න බැරි තරම් තදට දැනෙනවා... ඒත් මේ තරැණයා තවමත් ආදරේ කරන්නෙ අර අහිමි පෙම්වතියට යි.. ඔහු දන්නවා මේ අනෙක් යුවතිය ඔහුට බොහෝ ආදරය කරන වග... අනෙක් අතට ඔහු දන්නවා පැරණි පෙම්වතිය යලි කිසිදාක නො එන වගත්.. ඒත් ඔහු ගේ හිත හදා ගන්න ඔහුට අපහසු යි.. කාලය ගෙවෙන්නෙ මේ කිසිවකට පිලිතුරු නොසපයමිනු යි.. මේ ගීතයේ ඇතුලාන්තයත් ඒ වගෙයි

දැන් මේ යුවතිය ඒ තරුණයාට කොයි තරම් ආදරය කරත් ඔහු ගේ හිතේ ඉන්නෙ අර අහිමි පෙම්වතිය පමණයි.. ඒ නිසා ඇයට කෙදිනකවත් මේ ප්‍රේමවන්තයාව හිමි කර ගන්න බැහැ කියල ඇය දන්නවා. ඒ නිසා මේ අහිමි හන්තාන සිහිනය.. සරසවි ප්‍රේමය දිහා බලල වැලපෙන්න ඇයට සිද්ධ වෙනව..

බලා වැලපෙමි නෙලා ගනු බැරි
හන්තාන සිහිනේ....

ඒත්... මේ තරුණයා මේ යුවතියට ආදරේ නොකරත් තමන්ට අප්‍රමාණව ආදරය කරන ඇය දිහා බොහෝම කරුණාවෙන් බලනවා.. ඔහු ඒ නිසයි කියන්නෙ... මම වෙනුවෙන් හඩන්න එපා නෙත් යුග දරා ගෙන ඉන්න කියල... එපමණක් නොවෙයි ඔහු කියනවා සිත් මල හදා ගෙන වෙනත් සංසාර සිහිනයක පැටලෙන්න කියල... ඒ කියන්නෙ මේ තරැණයා ඇයට කියනවා වක්‍රව මා ගැන තියෙන අදහස අත්හැරලා නුඹ නාඩා හිටපන්... නුඹට සංසාර ප්‍රේමවන්තයෙක් ඇති... ඔහු හොයාගන යන්න කියල...

දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ලදුනේ...
සංසාර සිහිනේ....

ඒත් මේ පෙම්වතිය එහෙම ඔහුව අමතක කරල යන්නෙ නැහැ... ඇය හීන මවනවා... දැන් අපි දන්නවා අපට අහිමි යමක්... සැබෑ ලෝකයේදි හිමි කර ගත නොහැකි යමක්... අපි ස්වප්නයක දි හෝ හිමි කර ගන්න උත්සහ ගන්නවා කියල... ඉතින් මේ යුවතියත් සරසවි යන එන හැම තැනකම ඔහු ගේ රැව මවා ගන්නවා... ඇය ට හීනයක් තියෙනවා... ඒක ඇයටම පමණක් උරැම පුද්ගලික සිහිනයක්මත් නෙවෙයි... එක පැත්තකින් පේරාදෙණි සරසවියෙ දි ප්‍රේමයේ පහස විදින සෑම තරුණියක ගේම හිතේ ඇති වන පොදු හීනයක්... ඒ .. මේ සුන්දර පේරාදෙණි මල්වර වැස්සෙ තෙමි තෙමී සරසවියෙ ඇවිදින්න... අනෙක් අතට සරච්චන්ද්‍ර වළේ පෙන්වන නාට්‍යක් බලන්න... ඒත් .. ඒ තනිවම නම් නොවෙයි... තමන් ගෙ ප්‍රේමවන්තයා ගේ තුරුලෙ වෙලිලයි... එහෙම තෙමි තෙමි ඇවිද යන්න... රග හලේ තුරැල් වෙලා නාට්‍ය බලන්න ඇය කැමතියි

වැහි පබලු යට රග මඩල මැද
ඔබේ දෑතෙහි තුරුලු වෙන්නට,

ඒත්... ඇගේ ඒ ඉල්ලීම ඇහෙන කොටත් මේ තරුණයා ගෙ හිතේ ඉන්නෙ ඔහු ගෙ පරණ පෙම්වතිය.. සමහර විට මේ ඉල්ලීම් අර මා කලින් කියුව වගේ සෑම පේරාදෙණි සරසවි ප්‍රේමවන්තියක ගේ ම පොදු ඉල්ලීම් නිසා කලින් ප්‍රේමවන්තියත් ඔහුගෙන් මේවම ඉල්ලන්න ඇති.. ඔහු ඒවා ඉටු කරන්නත් ඇති.. වළේ මනමේ බලන්නත් ඇති... එහෙම තුරුල් වෙලා මනමේ බලද්දි කවදාවත් මනමේ කුමාරිකාවක් වෙලා ඇය යාවි කියා ඔහු නොහිතන්නත් ඇති... දැන් ඔහුට තියෙන්නෙ ඒ බිසොව හැර ගිය ලසෝ රගහල තුල ඇති වේදනාත්මක මතක ටික විතරයි.. ඒ නිසා ඔහු අර අනෙක් තරැණියගෙ ඉල්ලීම ඇගේ හිත නොරිදෙන්නට ප්‍රතික්ෂේප කරනවා...

බිසෝ හැර ගිය
ලසෝ රඟ හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ

දැන් මේ කවර දෙයක් ඉදිරිපත් කළත් අර තරුණිය මේ තරුණයාට ආදරේ කරන එක නවත්වන්නෙ නැහැ.. ඒ බව ඇය නැවත සපථ කරනවා ... ඇයට ඔහු සදක් බව ඇය කියනවා... වෙනත් අයගෙන් බොහොම සුන්දර ආදර යෝජනා එනවා.. එහෙත් ඒ අය තරු පන්ති විතරක් කියල ඇය කියනවා... සද අවැසි තැනට තරු වලින් කුමන ප්‍රයෝජනද කියල ඇය දන්නවා.... අනෙක් අතට මෙතනදි ඇය කියන තරැ ඇදුරැ පෙම් ගී අහන්නම් කියන වචන පේළිය ඇතුලෙ ලොකු ද්වනිතාර්ථයකුත් මට දැනෙනවා... ඒ කියන්නෙ මේ ඇයට ප්‍රේමය ප්‍රකාශ කරන තරු වල ඒ ප්‍රේමාරාධනාවෝ වගේ ම සරසවියෙ දි විශේෂයෙන්ම ඇය උගනිනා අතරෙ ඇයට සරසවි අධ්‍යාපනය ඇතුලෙ දි ඉගෙන ගන්න ලැබෙන විවිධ සුන්දර ආදර සාහිත්‍යනුත් ඇය නිසොල්මනේ උගනිනවා කියල ඇය කියනවා වෙන්නත් පුලුවන... එහෙම නැත්තම් ඇයට මේ වෙනත් පාර්ශව වලින් එන ප්‍රේමාරාධනාවන් ගේ ප්‍රභලත්වය ඒ මගින් පෙන්නුවා වෙන්නත් පුලුවන්.. ඒත් ඇය ඔහුවම පතනවා..

වඩින තුරු සද දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්

මේ ආරාධනාව.... එහෙම නැත්තම් මග බලා හිදීම වෙනුවෙන් අවසානෙදි අර තරුණයා දෙන අවසන් කියමන ඇතුලෙ ඇයට පොඩ් බලාපොරොත්තුවක් ඉතුරු වෙලා තියෙනවා... සමහර විට ඔහු කියනවා ඇති මම හිත හදාගන නුඹ බලා හිදින ඒ සද දියේ එන්නම්... නුඹේ ප්‍රේමය භාර ගන්න එන්නම් ... එතෙක් හන්තාන අරණේ බලා හිදින ලෙස විය හැකි ය... මේ හිතුවිල්ල අපටත් තව තවත් හිතන්න ඉඩ තියල ගීතය නිමා කරනවා....

සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉදිනු මැන සොඳුරේ
හන්තාන අරණේ

 

පොටෝ එක ගැහුවෙ-- ඉමාෂි තිලකරත්න
සිතිවිල්ල ගෙතුවේ --ගයාන් අබේසිංහ


3 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි නංගි

      Delete
  2. ගීතයට සාධාරණ රසාස්වාදයක්.පාඨක හදවත් ආමන්ත්‍රරණය කරන බස හැසිරවීමක්.ආනන්දනීයයි.

    ReplyDelete