Tuesday, September 12, 2017

අම්මා නුඹ යි මුලූ ලෝකෙ ම සනසවන




පුර හඳත් කලාවෙන් කලාවට බැහැල යනවා. අවුරුදු ගානක් ඉඳලා ම දවස ගානෙ හඳ කලාවෙන් කලාව පිරිලා පුරහඳ වෙන එකයි කලාවෙන් කලාවට අඩුවෙමින් ගිහිල්ලා අමාවක වෙන එකයි දකින බලන එක මගේ ජීවිතේ පුරුද්දක් වෙලා. ඒක පුරුද්දක් ම නෙවෙයි, දවල් දවසෙ තිබ්බ වැඩ රාජකාරි සියල්ල ම කෙළවර සොබා දහම විතරක් නෙවෙයි ජීවිතෙත් විඳින්න ඉඩපාඩු ලැබෙන සුන්දර ම වෙලාව තමයි මහ රැුය.  ඒ  නිසා මම මහ රැයට ආදරේ කරනවා.  අන්ධකාර අහස යට දිලිහෙන රූ  බදුල්ලන්ගේ එළි සිය දහස් ගණන් මට ඒ වින්දනයට පාර පෙන්වනවා.  පුරහඳ පෑයුව රාත‍්‍රිවල නම් හඳ එළියෙන් පාට ඉල්ලගෙන දිලිහෙන පබලූ මුතු කැට වගේ පිනි කැට මේ සොබා දහමේ සුන්දරත්වය කොයිතරම් නම් අපිට කියාදෙනවා ද? ඊයෙ ගෙවුනෙත් ඒ වගේ රැයක්. පෝයට පස්සෙ දවසක් උනත් මහ වැහි වලා අස්සෙ හද හැංගිලා.  මං ඒ අදුරු අහසට පහළින් දිලිහෙන පුංචි කණාමැදිරි එළිදිහා බලන් උන්නා’ මට මතක් වුණේ පුංචි ම කාලේ සීය මට කියා දුන්න කතන්දරයක්.

‘‘කනාමැදිරියෝ කියන්නේ මහ පොළොවෙ පායන තාරකා.  මිනිස්සුන්ට තරු එළිය දෙනවා වගේ අන්ධකාරෙ යන එන සතා සීපාවට මග කියන්න කණාමැදිරියන්ට පුලූවන්’’ සීයා ඉස්සර කියුවෙ එහෙම. ඒකෙ ඇත්ත නැත්ත හොයනවාට වඩා ඒ කතාවෙ ගැඹුරක් තියෙනව නේද කියලා මට හිතුනා.  ඒ තමයි අපි හැමෝට ම හැම වෙලාවෙම නැතත් කොයි වෙලාවක හරි ජීවිතේ මග පෙන්වන්න බොහෝ අය අවශ්‍ය වෙනවා නේද කියන එක. ඇත්ත පුංචි කාලෙ අපි ඉපදුන දොහේ පටන් ම අද වෙනකල් අපිට ජීවිතේ කොයිතරම් නම් දෙනෙක් මග නොමග කියා දෙන්න ඇද්ද. සමහරු කොන්දේසි සහිතව අපේ ජීවිතවලදි උපකාර කරනවා.  සමරු කොන්දේසි රහිතව අපිට උපකාර කරනවා.  ඒ හැමෝම අතරෙ කොන්දේසි විරහිතව ආදරෙන් අපි සනහන ජීවිතේ කියාදෙන සුන්දර ම කෙනා මට මතක් වෙනවා.

‘‘අම්මා
මට මල් සුවඳක් වේවා
උපදින සංසාරේ
රන් මිණි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ’’


සත්තකින් ම, අම්මා තරම් සුවඳවත් වෙන මලක් කොහිද? එහෙත් සුවඳවත් ඒ මල” අරලියා මලක” සමන් පිච්ච මලක හෝ ලොව වෙන කිසිදු මලක සුවඳ නම් නොදෙයි. සැබැවින් ම සේකරයන් කියුවා සේ අම්මා නමක් නොමැති සුදුපාට පුංචි මලක් ම ය. එහි සුවඳ අසමසම ය. අන්දකාර තරු පිරි අහස අතරින් මට මගේ අම්මා මැවී පෙනෙයි. මට මගේ කුඩා විය සිහිවෙයි. අතීතයේ ම වූ සුන්දර දවස්වල අම්මා ගේ අතින් ඇඳටම පැමිණෙන කිරි වීදුරුව සම්පූර්ණයෙන් ම පානය නොකළ යුගයක් මට ඇත. ළපටි ම කාලය ද ඉක්මගොස් පාසලේ අට නමය ශ්‍රේණිවල ඉන්නා කල්හි පවා මගේ උදෑසන කිරි වීදුරුවේ කොටහක් මම ඉතුරු කර තැබුවෙමි. ඒ අම්මාට ය.

කාලය ගෙවීයත් ම මගේ වැනි ම පුරුදු ඇති පුංචි උන් මට හමුවෙයි.  ඉෂාන් හිටියේ මගේ පන්තියේ ය. හැමදාම පන්ති ඇරි ගෙදරයන අතර මග පන්තිය ආසන්නයේ ම කඩයකට ඉෂාන් ගොඩවෙනු මම අනන්තවත් දැක ඇත. දිනක් ඉෂාන් කඩයට ගොඩ වෙන විට මම ද ඒ පසුපස වීමි. ඔහු අරගන්තේ රුපියල් පහේ අයිස් පැකට් දෙකකි. ඒ ඉෂාන් ගේ හැමදාම මිලදී ගනු ලැබුම බව මා පසුව දැන ගත්තේ කඩ හිමියාගෙන. ‘‘අයිස් දෙකක් මොකෝ කොල්ලො’’ මම පිටුපසින් විත් හිසට තට්ටුවක් දමා සිනාසෙමින් ඇසුවා අද සේ ම මතකය. ‘‘එකක් මට අනික අම්මට’’ ඒ පොඩි එකාගේ හුරතල් උත්තරයයි. ‘‘හරි පුදුම ළමයෙක් සර්” හැමදාම පන්ති තියෙන දවසට අයිස් දෙකක් ගන්නවා. මමත් කීප සැරයක් ම ඇහුවා. ඒ හැම වතාවක ම කියුවෙ ඔය උත්තරේමයි.‘‘ එකක් මට අනික අම්මට‘‘. අම්මාට ඒ තරම් ආදරේ කළ ඉෂාන් ගේ අම්මා පසුකළෙක පිළිකාවකින් මියගිය බව මා දැන ගත්තේ මෑතකය.

‘‘ ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ
ළතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා... අම්මා...’’
(පද- සුනිල් ආරියරත්න)

‘‘ළමයෝ’’ නුවර හොඳ ක්ලාස් තියෙනවා. යන්න එහෙ ගිහින් ඒ ලෙවල් කරන්න’’ සකුන්තලා මගේ ඉදිරියේ උන් දවසක මම ඇයට කියුවේ එහෙමය. සකුන්තලා මගේ පන්තියට ආවේ විභාගය ආසන්නයේ ය. එහෙත් මම ඇයට ඉගැන්වීමි. දෑ වසරක දැනුම සතියෙන් දෙකෙන් ගලපන්න බැරි වග මා මෙන් ම ඇය ද දැන උන්නා වන්නට ඇත. විභාගයෙන් පසු දවසක යළිත් වරක් විභාගය සඳහා සූදානම් විය යුතු බව ඇය ම කියුවේ එනිසා විය හැකිය. එසේ පැවසූ මොහොතක මම ඇයට නුවර පන්ති යන්නැයි කියුවෙම.එහෙත් ඇස් ලොකු කරගෙන ඇය කිවුදේ මට අද ද මතකය. ‘‘බෑ... බෑ... ගෙදරින් පිට නම් ගිහින් නැවතිලා ඉන්න මට බැහැ’’ ඇය කියුවේ එහෙමය. මම නිරුත්තර වුණෙමි. අවුරුදු දහ නමයක කෙල්ලෙක් කතා කරන්නේ අවුරුදු අටක නමයක දැරියක් ලෙසින් ය. මගේ ජීවිතයේ මට හමුවූ සමහරු දරුවන් හොස්ටල් බෝඩිම්වල ජීවත් වන්නේ හයේ පන්තියේ සිටය. එහෙම දරුවන් සිටින රටක සකුන්තලා ගෙදරින් දුර ඉන්න බෑ කීම පුදුමයකි. කාරණය සැබෑවක් බව ඊට පසුදිනෙක ඇගේ මිතුරියක් මට කියුවා අදවගේ මතකය. ‘‘එයාගෙ තාත්තා නැහැ සර්... පුංචි කාලෙ ඉඳන්ම අයියායි අම්මායි එයාට ගොඩාක් ආදරෙයි. එයාට ඒ දෙන්නා නැතිව එක දවසක්වත් ගෙදරින් පිට ඉන්න බැහැ’’

‘‘සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැක දරුවෙකු හට
මවක් සේ ලැදී
අම්මා යන සමාධියට ඉදිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ
අකුරු මට මදී ’’
(පද- හේමසිරි ද අල්විස්)


අම්මා ගැන කොයිතරම් නම් දේ ලිවිය හැකිද? එහෙත් මොනවා කොයිතරම් ලියුවත් ඇගේ ගුණ කියා නිම කළ නොහැක. පසුගිය දිනෙක මව්වරුන් ගේ දිනය සැමරුනු රටක මම ඔබෙන් පැනයක් අසමි. ඇත්තට ම ඔයා අම්මාට කොයිතරම් ආදරේ ද? ඔය පැනය මා මගෙන් අසන හැම වරෙක ම මා නිරුත්තර වූවා සේ ම ඔබ ද නිරුත්තර වන බව මම දනිමි’

ගයාන් අබේසිංහ

No comments:

Post a Comment