Wednesday, January 10, 2018

මනරම් කවිකම් බිහි (නො)වන අද






මට නිතර ම අලූත් කවි කිවිඳියො එයාලගෙ කවිපොත් එවනවා. එහෙම එවලා ගොඩක්  අය ගුණ දොස් අහනවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ එහෙම ගුණ දොස් අහන වෙලාවට ඒකෙ දෝෂයක් කියුවම අහන අයගේ මූණ ඇඹුල් වෙලා යන එක. ඇත්ත කතාව තමයි බොහෝමයක් නවක කවි කිවිඳියොන්ගේ කාව්‍ය අනුභූති තෝරා ගැන්මේ පටන් ම තියෙන්නෙ අවුල් සහගත බවක්. ඒත් නැත්තම් ඒ අනුභූතිය ප‍්‍රකාශනයට භාවිත කරලා තියෙන භාෂාවෙ තියෙන නොවිදිමත් බව. නැත්තම් රස ජනනයක් සිද්ධ නොවී වාර්තාමය ස්වරූපයක් දක්නට ලැබීම. මේ වගේ දහසකුත් එකක් ප‍්‍රශ්න ඒ කවිපොත්වල තියෙන කවිවල තියෙනවා. හැබැයි ඒ හැම කවි පොතකම තියෙන පොදු ලක්ෂණයක් තමයි අවම වශයෙන් කවි හතලිහක් ඒ පොතක තිබ්බොත් අඩුම ගුණාත්මක මට්ටමේ කවි කිහිපයකුත් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නෙ ඒ අයට යම් කාව්‍යමය හැකියාවක් තියෙනවා 

ඒත් ඔය අතරිනුත් සමහර අය ඉන්නවා එයාලගේ පළමු කාව්‍ය සංග්‍රහයෙ උනත් ආධුනික ලක්ෂණයක්වත් පෙන්වන්නෙ නැති තරම් සාර්ථක කවි ලියන අය. මේ දවස්වල මං ශානි ශෂි කියලා මුහුණු පොතේ කවි ලියුව නිර්මාණකාරිණියක්ගේ කවි පොතක පෙරවදන ලියන්න පොත කියවන ගමන් ඉන්නෙ. ඇත්තටම ඒ කවි සාර්ථක මට්ටමක තියෙනවා. 
 
අර මම කලින් කියුව කවි කිවිදියන්ගේ කවිවල දුර්වලතා තියෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි මේ නවක කවි කිවිඳියෝ සතතාභ්‍යාසයේ නිරත නොවීම. අපි හොඳින් ම දන්න දෙයක් තමයි හොඳ කවියක් නිර්මාණය සඳහා කවියෙක් සතු විය යුතු ලක්ෂණ තුනක් තියෙනවා. එකක් ව්‍යුත්පත්තිය, අනික සතතාභ්‍යාසය ඊළඟ එක ප‍්‍රතිභාව. ඒත් අවාසනාවකට මේ පිළිබඳ නූතන පරපුරේ නවක කවි කිවිඳියොන්ගේ ඒ තරම් සැලකිල්ලක් නැහැ. 

ඔතනින් සතතාභ්‍යාසය කියලා කියුවෙ නැවත නැවත අභ්‍යාසයේ නිරතවීම. ඒ කියන්නෙ අපි කරන පළමු කාව්‍ය නිර්මාණයම සාර්ථක කාව්‍ය නිර්මාණයක් කියලා අපි විසින් ම විනිශ්චය නොකර නැවත නැවත තව නිර්මාණ කරන්න  ඕන. එතකොට තමයි කාව්‍ය ශක්තිය මුවහත් වෙන්නෙ. ඒත් බොහෝමයක් කවියෝ කරන්නෙ කොළයක් අරන් කවියක් ලියලා ඒකෙ අඩුපාඩු ගැන කිසිම විදියකින් සැලකිලිමත් නොවී ඒක තමයි හොඳම කවිය කියලා විශ්වාස කරනවා. ඒත් එළියෙන් බලන් ඉන්න අය දන්නවා ඒ කවිය සාර්ථක නැහැ කියලා. ඒ නිසා නැවත නැවත කාව්‍ය අභ්‍යාසයන් වල නිරත වෙන අයට විතරයි පුලූවන් වෙන්නෙ හොඳ නිර්මාණ බිහි කරන්න. 



අනික් එක තමයි කවි ලියන්න නම් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. පොත පත පරිශීලනය කරලා තිබිය යුතුයි. එහෙම නැති වුනොත් ඒ කවි ඇතුලේ තියෙන්නෙ හිස් කමක්. සාහිත්‍ය කෘතීන් අතරිනුත් වෙනත් ලේඛකයන්ගේ කාව්‍ය කෘතීන් භාවිත කිරීම විශිෂ්ඨ කවියන්ගේ ආභාෂය ලබන්න අතිශය වැදගත් වෙනවා. සරලව කියුවොත් අනුකාරකයක් නොවී ආභාෂය ලබන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒක පැහැදිලිය හඳුනා ගන්න අපිට උදාහරණයක් අර ගන්නත් පුලූවන්.


‘‘ඔබා දෙදණ නිල් උඳුපියලි බිම මත
වැන්දේ ය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට
පිපිලා තිබුණි එතැන සුදුපාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ය ඔහු එමල නමා හිස’’


මේ උඩින් තියෙන කවිය ලියලා තියෙන්නෙ මහගම සේකර. එතුමාගේ ප‍්‍රබුද්ධ කෘතියේ තිස් එක්වෙනි පිටුවෙ තමයි අපිට මේ කාව්‍ය කොටස හමු වෙන්නෙ. දැන් අම්මා ගැන අපේ ප‍්‍රකට ගේය පද රචකයෙක් ලියන මේ ගීතයේ ආරම්භය බලන්න. මේ ගීතය ගයන්නෙ අජිත් බණ්ඩාර.


‘‘ඔබ  නිදනා සීතල පොළොවේ
මලක් පිපීලා නමක් නැතී
ඔබා දන බිම නැමී සිප ගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ
අම්මා... අම්මා...’’


කලින් කියුව සේකරගේ ප‍්‍රබුද්ධ කෘතිය මේ රචකයා කියෝලා තියෙනවා වෙන්න  ඕන. මොකද සේකරගේ කවියේ ආභාශය යම් තරමින් මේ දෙවැනි ගේය පද රචනයට හෙවනැල්ලක් වෙලා තියෙනවා. හැබැයි ඒක සේකරගේ කවිය කියෝලා කරන කොපි කිරීමක් නම් නෙවෙයි. සමහර වෙලාවට මේ ගේය පද රචකයා සේකරගේ කවිය කියවලා තියෙන්න ඇත්තෙ මේ ගේය පද රචනය ලියන්න අවුරුදු දෙක තුනකට හෝ ඊටත් එපිට කාල සීමාවක දී වෙන්න පුලූවන්. ඒත් ඒ නිර්මාණය අවිඥානය තුළ රැඳී තිබිලා පසුව ඒක ඉස්මතු වෙලා තමයි තියෙන්නෙ. ඒක තමයි සැබෑවටම කවියෙක්ට ව්‍යුත්පත්තිය අවශ්‍ය යැයි කියලා කියන්නෙ.
නමුත් ආවාසනාවන්ත කාරණය තමයි අද බොහෝමයක් නූතන තරුණ කවියොන්ට ව්‍යුත්පත්තිය තියෙන්නෙ හරි විරලව. ඒකට හේතුව තමයි බොහෝ දෙනා පොත පත පරිශීලනය කරන්නෙ නැතිකම. මට පුංචි සිද්ධියක් මතක් වෙනවා ඔය ව්‍යුත්පත්තිය ගැන කතා කරද්දි. 

මං දන්න එක කිවිඳියක් ඉන්නවා. මේ වෙද්දි පොත් කිහිපයක් ම පළකරලා තියෙන්නෙ. එයාගේ යම් පමණක කාව්‍ය ශක්තියක් තියෙනවා. ඒත් ඇය කවි ලියන්න කලින් කරන එක්තරා ක‍්‍රියාවක් නම් මගේ සිත් ගන්නෙ නැහැ. ඇය කවි ලියන්න කලින් වෙනත් සාර්ථක කවියන්ගේ කවි කියෝලා ඒවගේ තියෙන වචන එහෙම් පිටින්ම කොපි කරනවා සහ ඒ සාර්ථක කවීන් සිය කවිවලට අනුභූති හැටියට භාවිත කරලා තියෙන අනුභූතිම තමන්ගේ කවියටත් අනුභූති කරගන්නවා. එහෙත් ඒ ගැන ඇයට තේරුම් කරන්න ගියාම ඇය කියන සරලම උත්තරය තමයි වචන කියන්නෙ පොදු දෙයක්. ඒ වචන ඒ කලින් කවියන්ගේ දේපලක් නෙවෙයිකියලා යි. ඒත් අවාසනාවට ඇයට තේරෙන්නෙ නැහැ එහෙම කරන එකෙන් සිද්ධ වෙන්නෙ අවම වශයෙන්වත් ඇය සතුව තිබුණ කාව්‍ය ශක්තිය නිකම්ම පිරිහිලා යනවා කියන එක. 

කොහොම නමුත් අද කවියන්ගෙ මේ වගේ වැරදි ගැන කතාකරන්න හිතුවෙ සිසිර ගමගේ මහත්මයා නිතරම කියන කාරණයක් සිහිපත් වෙලයි. ගොඩක් වෙලාවට එතුමා මට කියනවා ‘‘මේ අලූත් කවි කිවිඳියො ගොඩක් දක්ෂයි. ඒත් ගයාන්, එයාලට එයාලගේ වැරදි අඩුපාඩු ගැන හරියට පැහැදිලි කරලා එයාලව සාර්තකත්වයට ගෙන යන්න කවුරු හරි මැදිහත් වෙනකල් ඒ අය බොහෝ දෙනෙක් නිසි මග යන්නෙ නැහැ‘‘ යි කියලා. ඒ නිසාම මේ කාරණා ටික ලියන්න හිතුවා මම. කොහොම උනත් තව දෙයක් ආයෙමත් මතක් කළ යුතුයි. ඒ තමයි මං කියුව මේ කරුණ අලුතින් කවි ලියන හැමෝටම අදාල වෙන්නෙ නැහැ. මොකද සමහර අලුත් පොත් කරන නෑඹුල් කවි කිවිදියො ඉන්නවා හරි සුන්දරයි එයාලගේ නිර්මාණ. ඔය දනන් තුඩ තුඩ ජනප්‍රිය නිර්මාණකරුවන් ගෙ නිර්මාණවලට පවා එයා යන සාර්ථක නිර්මාණ ඒ නවක අය බිහි කරනවා.

කොහොම උනත් කවි ලියන ඔබට මම හරි ආදරෙන් කියන්නෙ අමතක නොකර මේ ගැන හිතන්න.. සතතාභ්‍යාසයේ යෙදීමෙන් හා ව්‍යුත්පත්ති ඥානය ලැබීමෙන් දවසක ඔබට දක්ෂ කවියෙක් වෙන්න මග තැනෙන ප්‍රතිභාව ලැබෙන එක නම් ඒකාන්තයි.

@ ගයාන් අබේසිංහ

1 comment:

  1. ඇස් තෙත් කළ මතක කියවලා මුහුණුපොතේ යමක් ලියන්න හිටියත් බැරි වුණා.බ්ලොග් එකේ ඒ පිළිබඳව ලියන්න අදහසක් තියෙනවා.අදයි මේ බ්ලොග් එක දැක්කේ.බ්ලොග් අවකාශයේ හමු වීම සතුටක්.

    -වර්ෂා-

    ReplyDelete