Sunday, July 29, 2018

අයිතිවාසිකම් සුරක්ෂිත රටක අනාගතය ද සුබවාදී වනු ඇත.




මහපොළොව මත යහපත් ජීවිතයක් ගත කිරීම උදෙසා මිනිසාට අත්විය යුතු අයිතීන් මානව අයිතිවාසිකම් ලෙසින් සරලව අර්ථකතනය කළ හැකිය. එහෙත් ඒ අයිතීන් මේ ආකාරයෙන් විය යුතුයැයි නිශ්චිත නිර්වචනයක් අද වන විටත් පොදුවේ පිළිගන්නා තත්ත්වයකට පැමිණ නැත. අතීතයේ පටන් අද දක්වා මානව අයිතිවාසිකම් යනු කුමක්ද යන්න පිලිබඳ විවිධ අර්ථ නිර්වචකයන් විසින් නේක විධ අයුරින් නිර්වචනය කරමින් පවතියි. විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට අනුව ගත් කළ ‘‘රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිිගැනෙන සදාචාරත්මක ප‍්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් නම්වේ. කොළොම්බියානු සරසවිය හඳුන්වාදුන් විශ්ව කෝෂයට අනුව මානව හිමිකම් යනු මිනිසුන් වීම නිසා ලැබෙන්නා වු අයිතින් වන අතර ඒවා සිවිල් දේශපාලන සංස්කෘතික හා ආර්ථික අයිතින් වන අතර මේවා මනුෂයාගේ ගෞරවය මත රදාපවතී. මහත්මා ගාන්ධි තුමන් විසින් පවසා ඇති පරිදි මානව අයිතිවාසිකම් යනු යුතුකම්ය. කෙසේ වුවත් මානව අයිතිවාසිකම් යන්න සඳහා යම් පුලූල් ආකාරයක පොදු නිර්චනයක් ලෙසින් අපට මෙලෙස නිර්වචනයක් ඉදිරිපත් කළ හැකි ය. කිසියම් ජනවාර්ගිකත්වයක්, ස්ත‍්‍රී පුරුෂභේදයක්, ජාතියක්, ආගමක්, සමාජ පන්තියක්, කුලයක් හෝ  ප‍්‍රාදේශිකත්වයක් වැනි විෂමතාවලින් තොරව ලෝකය තුළ සිටින  සෑම මිනිසකුටම පොදුවේ තිබිය යුතු බවට පිළිගනු ලබන අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වේ යන්නය.

මානව අයිතිවාසිකම් බිහිවීම පිළිබඳ තොරතුරු සොයා ඉතිහාසය පිළිබඳ කරන ගවේෂණයක් තුළ අපට වටහා ගත හැකිවෙන මූලික ම කරුණ වන්නේ නූතන රාජ්‍ය ක‍්‍රමය බිහිවීමට පෙර මානව සමාජය තුළ පොදුවේ පිළිගත් කොන්දේසියක් හෝ අයිතිවාසිකම් පිළිබඳ එකඟතාවක් පැවැතී නොමැති බවය. ඒ සෑම තැනකම දැකිය හැක්කේ වරප‍්‍රසාදලාභීන් කණ්ඩායමක් විසින් භුක්තිවිඳින වරප‍්‍රසාද පමණි. ඒවා පොදුවේ සෑම පුද්ගලයෙක්ටම උරුම වූ දෑ නොව බලය, ධනය, කුලය, පුරුෂාධිපත්‍ය වැනි සාදක මගින් සීමාකාරී වූ අතළොස්සක් දෙනා භුක්තිවිඳින ලද දෑ ය. නමුත් මේ තත්ත්වය වෙනස්වන්නේ නූතන රාජ්‍යන් බිහිවීමත් සමඟින්ය. 1948 වර්ෂයේ දෙසැම්බර් 10 දින එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් ‘මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය’ පිළිගනු ලැබූ අතර එතැන් පටන් සෑම වර්ෂයකම දෙසැම්බර් 10 වන දිනය ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලෙසින් නම්කර ඇත. එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලද එම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ ප‍්‍රස්තාවනාව තුළ මෙසේ දක්වා ඇත.

”ලෝකයේ නිදහස, යුක්තිය සහ සාමය යන මේවායේ පදනම මිනිස් පවුලේ සියලූ දෙනාගේම සහජ ගරුත්ව හා අන්සතු කළ නොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වේ.”


එහි සරල අර්ථය නම් මානව අයිතිවාසිකම් කිසිදු කොන්දේසියකින් තොරව ලෝකයේ සෑම මිනිසෙකුටම පොදු බවයි. එය රටින් රටට, ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට, ආගමික වශයෙන් හෝ ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව පොදුවේ භුක්තිවිඳිය හැකිය. ජනවාර්ගිකත්වය කවරක් ද යන්න හෝ කුලය වැනි සාදක එයට කිසිලෙසකින් බලපෑමක් නොකරයි. ලොව කොතැනක කොයි ලෙසින් ජීවත් වුව ද සෑම මනුෂ්‍යයෙකුගේ ම හැසිරීම් අවශ්‍යතාවයන් සහ ජීවන තත්ත්වයන් එක හා සමාන වන බැවින් පොදුවේ ඔවුන් භුක්තිවිඳිය යුතු අවශ්‍යතා ද එක හා සමාන විය යුතුය යන කරුණ සැලකූ විට ලෝක ජනගහනය සෑම දෙනාටම අයිතිවාසිකම් පොදු විය යුතුය යන කරුණ පිළිගත හැකිය. මෙම තත්ත්වය මෙයට පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස් බැවින් යම්යම් ජන කොටස් රාජ්‍ය වශයෙන් සහ ජාතික වශයෙන් මෙම ප‍්‍රකාශයට යම් අයුරකින් මතවාදීව එකඟ නොවන තත්ත්වයන් දැකිය හැකි වුවද එය පොදුවේ සමථනයකට ලක්විය.

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව පිළිගැනීමක් බිහිවීමට බලපෑ ප‍්‍රභලම කරුණව ඇත්තේ දෙවන ලෝක යුද්ධය හේතුවෙන් රාජ්‍යන් අතර සිදුවූ ෙඛිදජනක තත්ත්වයයි. ඒ රාජ්‍යන් හි ඇතිවූ බිඳ වැටීම් යළි යථා තත්ත්වයට පත් කරමින් රාජ්‍ය තුළ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කරගත යුතු පියවර ගනු ලැබුවා සේ ම යළිත් මෙවැනි විනාශකාරී යුද්ධයක අමිහිරි අත්දැකීම් විඳින්නට ඉඩක් නොලැබෙන පරිදි ලෝක සාමය සුරක්ෂිත කරගනිමින් පවත්වා ගැනීමට අවශ්‍ය ලෝක සංවිධානයක අවශ්‍යතාවය අනුව යමින් 1945 ඔක්තොම්බර් මාසයේ දී එක්සත් ජාතීන් ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදී. ඉන්පසුව සමස්ථ ලෝක ජනතාවට ම පොදු අයිතිවාසිකම් පෙළක් නිර්මාණය පිළිබඳ කතිකාවක් ගොඩ නැගෙන අතර එය සාර්ථක වෙමින් අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය බිහිකර සම්මත කරගනු ලැබීය. එම මුල් අවධියේ දී ම වුවද රටවල් විශාල වශයෙන් මෙම අයිතිවාසිකම් ප‍්‍රඥප්තියට එකඟවූ ආකාරයක් දැක ගත හැකි අතර එයට හේතු වූ මූලික කරුණු ද්විත්වයක් දැකගත හැකි ය. එනම්,

1.ඒ වන විටත් ඇතැම් ජාතික රාජ්‍යයන් විසින් තමන්ගේ නිදහස හෝ මුලික අයිතිවාසිකම් නිදහස ලෙස පිළිගත් එම සිද්ධාන්තය එම රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම

2.මානුෂික අයිතිවාසිකම් නීතිය ප‍්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධාන හා කලාපීය සංවිධාන වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව දැක්වු උනන්දුව යන කරුණුය.

මෙම අයිතිවාසිකම් පිළිබඳ පොදු එකඟතාව 1945වන විට ජාතීන් 91ක් පමණ පිළිගෙන තිබුණ අතර නූතනය වන විට රාජ්‍යන් එකසිය අනූවකටත් අධික සංඛ්‍යාවක් විසින් එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය පොදුවේ පිළිගනු ලැබ ඇත. එය සෑම රාජ්‍යක්ම පිළිගත යුතු නෛතික කොන්දේසියක් නොවන අතර එය යම් ආකාරයක සදාචාරාත්මක සම්මුතියක් ලෙසින් පිළිගනු ලැබෙයි. පොදුවේ මෙම ප‍්‍රඥප්තිය පිළිගන්නා සෑම රටකම පාහේ විශ්වාසය වන්නේ මෙම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මගින් රටක අනාගතය සුභවාදීවන බවයි. වර්ෂ 1989 දක්වා ම මානව අයිතිවාසිකම් පිළිබඳ පොදු සම්මුතිය අදාළ වූයේ වැඩිහිටියන් සඳහා පමණක් වූ අතර 1989 වර්ෂයේ දී  ”ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය” ඉදිරිපත් කිරීමත් සමඟ ළමයින්ට අදාළ අයිතිවාසිකම් ද එවක පටන් පිළිගනු ලැබ ඇත.

ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබනුයේ 1955 වර්ෂයේ ය. එවක පටන් ශ‍්‍රී ලංකාව ද එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප‍්‍රඥප්තියට ගරු කරමින් පොදුවේ එම අයිතිවාසිකම් භුක්ති විඳින්නට ස්වකීය ජනතාවට ඉඩ හසර සලසා දී ඇත. නමුත් යම් යම් දේශපාලනික කරුණ කාරණා හේතුවෙන් වරින් වර එම අයිතිවාසිකම් කඩවෙනු ලබන අවස්ථා දැකිය හැකි වුවද පොදුවේ ලංකාව ද අයිතිවාසිකම් ආරක්ෂා කරනු ලබන රටක් ලෙසින් හඳුනාගත හැකි ය. 1996 අංක 21 දරණ පනත මගින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL)  ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කෙරිණි. රටේ මානව හිමිකම් ප‍්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් වන අතර එම කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට පෙර, නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්ය බලකාය (HRTF) සහ වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ වෙනස්කම් කිරීම නැවත්වීමේ හා නිරීෂණය කිරීමේ කොමිෂන් සභාව (CEDMHR) ලෙස හදිසි නීතිය යටතේ වෙනස් ආයතන දෙකක් පිහිටුවන ලදී. එසේම වර්ෂ 1998 දී පමණ ළමා ආරක්ෂණ පනත ශ‍්‍රී ලංකාව තුළ ඇති කර ඇත. එයට අමතරව මානව හිමිකම් කඩවීම් සම්බන්ධව පැමිණිලි සලකා බැලීම සඳහා අධිකරණ ක‍්‍රියාමාර්ගත් ඔම්බුඞ්ස්මන් තනතුරත් ස්ථාපිත කිරීම මගින් පැහැදිලි වනුයේ ලාංකේය රාජ්‍ය තුළ ද මානව අයිතිවාසිකම් වැදගත් කොට සලකන වගයි.

@  ගයාන් අබේසිංහ


වැවුගම්පත්තුවට පායන සද මගේ කැමරා කාචයේ සටහන් ව ඇත



වැස්සකට අර අදින අහස යට 
මගේ කැමරා කාචයේ සටහන් වුණ දසුනක්

Wednesday, January 10, 2018

මනරම් කවිකම් බිහි (නො)වන අද






මට නිතර ම අලූත් කවි කිවිඳියො එයාලගෙ කවිපොත් එවනවා. එහෙම එවලා ගොඩක්  අය ගුණ දොස් අහනවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ එහෙම ගුණ දොස් අහන වෙලාවට ඒකෙ දෝෂයක් කියුවම අහන අයගේ මූණ ඇඹුල් වෙලා යන එක. ඇත්ත කතාව තමයි බොහෝමයක් නවක කවි කිවිඳියොන්ගේ කාව්‍ය අනුභූති තෝරා ගැන්මේ පටන් ම තියෙන්නෙ අවුල් සහගත බවක්. ඒත් නැත්තම් ඒ අනුභූතිය ප‍්‍රකාශනයට භාවිත කරලා තියෙන භාෂාවෙ තියෙන නොවිදිමත් බව. නැත්තම් රස ජනනයක් සිද්ධ නොවී වාර්තාමය ස්වරූපයක් දක්නට ලැබීම. මේ වගේ දහසකුත් එකක් ප‍්‍රශ්න ඒ කවිපොත්වල තියෙන කවිවල තියෙනවා. හැබැයි ඒ හැම කවි පොතකම තියෙන පොදු ලක්ෂණයක් තමයි අවම වශයෙන් කවි හතලිහක් ඒ පොතක තිබ්බොත් අඩුම ගුණාත්මක මට්ටමේ කවි කිහිපයකුත් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නෙ ඒ අයට යම් කාව්‍යමය හැකියාවක් තියෙනවා 

ඒත් ඔය අතරිනුත් සමහර අය ඉන්නවා එයාලගේ පළමු කාව්‍ය සංග්‍රහයෙ උනත් ආධුනික ලක්ෂණයක්වත් පෙන්වන්නෙ නැති තරම් සාර්ථක කවි ලියන අය. මේ දවස්වල මං ශානි ශෂි කියලා මුහුණු පොතේ කවි ලියුව නිර්මාණකාරිණියක්ගේ කවි පොතක පෙරවදන ලියන්න පොත කියවන ගමන් ඉන්නෙ. ඇත්තටම ඒ කවි සාර්ථක මට්ටමක තියෙනවා. 
 
අර මම කලින් කියුව කවි කිවිදියන්ගේ කවිවල දුර්වලතා තියෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි මේ නවක කවි කිවිඳියෝ සතතාභ්‍යාසයේ නිරත නොවීම. අපි හොඳින් ම දන්න දෙයක් තමයි හොඳ කවියක් නිර්මාණය සඳහා කවියෙක් සතු විය යුතු ලක්ෂණ තුනක් තියෙනවා. එකක් ව්‍යුත්පත්තිය, අනික සතතාභ්‍යාසය ඊළඟ එක ප‍්‍රතිභාව. ඒත් අවාසනාවකට මේ පිළිබඳ නූතන පරපුරේ නවක කවි කිවිඳියොන්ගේ ඒ තරම් සැලකිල්ලක් නැහැ. 

ඔතනින් සතතාභ්‍යාසය කියලා කියුවෙ නැවත නැවත අභ්‍යාසයේ නිරතවීම. ඒ කියන්නෙ අපි කරන පළමු කාව්‍ය නිර්මාණයම සාර්ථක කාව්‍ය නිර්මාණයක් කියලා අපි විසින් ම විනිශ්චය නොකර නැවත නැවත තව නිර්මාණ කරන්න  ඕන. එතකොට තමයි කාව්‍ය ශක්තිය මුවහත් වෙන්නෙ. ඒත් බොහෝමයක් කවියෝ කරන්නෙ කොළයක් අරන් කවියක් ලියලා ඒකෙ අඩුපාඩු ගැන කිසිම විදියකින් සැලකිලිමත් නොවී ඒක තමයි හොඳම කවිය කියලා විශ්වාස කරනවා. ඒත් එළියෙන් බලන් ඉන්න අය දන්නවා ඒ කවිය සාර්ථක නැහැ කියලා. ඒ නිසා නැවත නැවත කාව්‍ය අභ්‍යාසයන් වල නිරත වෙන අයට විතරයි පුලූවන් වෙන්නෙ හොඳ නිර්මාණ බිහි කරන්න. 



අනික් එක තමයි කවි ලියන්න නම් හොඳ අවබෝධයක් තිබිය යුතුයි. පොත පත පරිශීලනය කරලා තිබිය යුතුයි. එහෙම නැති වුනොත් ඒ කවි ඇතුලේ තියෙන්නෙ හිස් කමක්. සාහිත්‍ය කෘතීන් අතරිනුත් වෙනත් ලේඛකයන්ගේ කාව්‍ය කෘතීන් භාවිත කිරීම විශිෂ්ඨ කවියන්ගේ ආභාෂය ලබන්න අතිශය වැදගත් වෙනවා. සරලව කියුවොත් අනුකාරකයක් නොවී ආභාෂය ලබන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒක පැහැදිලිය හඳුනා ගන්න අපිට උදාහරණයක් අර ගන්නත් පුලූවන්.


‘‘ඔබා දෙදණ නිල් උඳුපියලි බිම මත
වැන්දේ ය ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට
පිපිලා තිබුණි එතැන සුදුපාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ය ඔහු එමල නමා හිස’’


මේ උඩින් තියෙන කවිය ලියලා තියෙන්නෙ මහගම සේකර. එතුමාගේ ප‍්‍රබුද්ධ කෘතියේ තිස් එක්වෙනි පිටුවෙ තමයි අපිට මේ කාව්‍ය කොටස හමු වෙන්නෙ. දැන් අම්මා ගැන අපේ ප‍්‍රකට ගේය පද රචකයෙක් ලියන මේ ගීතයේ ආරම්භය බලන්න. මේ ගීතය ගයන්නෙ අජිත් බණ්ඩාර.


‘‘ඔබ  නිදනා සීතල පොළොවේ
මලක් පිපීලා නමක් නැතී
ඔබා දන බිම නැමී සිප ගමි
ඔබේ කිරි සුවඳයි අම්මේ
අම්මා... අම්මා...’’


කලින් කියුව සේකරගේ ප‍්‍රබුද්ධ කෘතිය මේ රචකයා කියෝලා තියෙනවා වෙන්න  ඕන. මොකද සේකරගේ කවියේ ආභාශය යම් තරමින් මේ දෙවැනි ගේය පද රචනයට හෙවනැල්ලක් වෙලා තියෙනවා. හැබැයි ඒක සේකරගේ කවිය කියෝලා කරන කොපි කිරීමක් නම් නෙවෙයි. සමහර වෙලාවට මේ ගේය පද රචකයා සේකරගේ කවිය කියවලා තියෙන්න ඇත්තෙ මේ ගේය පද රචනය ලියන්න අවුරුදු දෙක තුනකට හෝ ඊටත් එපිට කාල සීමාවක දී වෙන්න පුලූවන්. ඒත් ඒ නිර්මාණය අවිඥානය තුළ රැඳී තිබිලා පසුව ඒක ඉස්මතු වෙලා තමයි තියෙන්නෙ. ඒක තමයි සැබෑවටම කවියෙක්ට ව්‍යුත්පත්තිය අවශ්‍ය යැයි කියලා කියන්නෙ.
නමුත් ආවාසනාවන්ත කාරණය තමයි අද බොහෝමයක් නූතන තරුණ කවියොන්ට ව්‍යුත්පත්තිය තියෙන්නෙ හරි විරලව. ඒකට හේතුව තමයි බොහෝ දෙනා පොත පත පරිශීලනය කරන්නෙ නැතිකම. මට පුංචි සිද්ධියක් මතක් වෙනවා ඔය ව්‍යුත්පත්තිය ගැන කතා කරද්දි. 

මං දන්න එක කිවිඳියක් ඉන්නවා. මේ වෙද්දි පොත් කිහිපයක් ම පළකරලා තියෙන්නෙ. එයාගේ යම් පමණක කාව්‍ය ශක්තියක් තියෙනවා. ඒත් ඇය කවි ලියන්න කලින් කරන එක්තරා ක‍්‍රියාවක් නම් මගේ සිත් ගන්නෙ නැහැ. ඇය කවි ලියන්න කලින් වෙනත් සාර්ථක කවියන්ගේ කවි කියෝලා ඒවගේ තියෙන වචන එහෙම් පිටින්ම කොපි කරනවා සහ ඒ සාර්ථක කවීන් සිය කවිවලට අනුභූති හැටියට භාවිත කරලා තියෙන අනුභූතිම තමන්ගේ කවියටත් අනුභූති කරගන්නවා. එහෙත් ඒ ගැන ඇයට තේරුම් කරන්න ගියාම ඇය කියන සරලම උත්තරය තමයි වචන කියන්නෙ පොදු දෙයක්. ඒ වචන ඒ කලින් කවියන්ගේ දේපලක් නෙවෙයිකියලා යි. ඒත් අවාසනාවට ඇයට තේරෙන්නෙ නැහැ එහෙම කරන එකෙන් සිද්ධ වෙන්නෙ අවම වශයෙන්වත් ඇය සතුව තිබුණ කාව්‍ය ශක්තිය නිකම්ම පිරිහිලා යනවා කියන එක. 

කොහොම නමුත් අද කවියන්ගෙ මේ වගේ වැරදි ගැන කතාකරන්න හිතුවෙ සිසිර ගමගේ මහත්මයා නිතරම කියන කාරණයක් සිහිපත් වෙලයි. ගොඩක් වෙලාවට එතුමා මට කියනවා ‘‘මේ අලූත් කවි කිවිඳියො ගොඩක් දක්ෂයි. ඒත් ගයාන්, එයාලට එයාලගේ වැරදි අඩුපාඩු ගැන හරියට පැහැදිලි කරලා එයාලව සාර්තකත්වයට ගෙන යන්න කවුරු හරි මැදිහත් වෙනකල් ඒ අය බොහෝ දෙනෙක් නිසි මග යන්නෙ නැහැ‘‘ යි කියලා. ඒ නිසාම මේ කාරණා ටික ලියන්න හිතුවා මම. කොහොම උනත් තව දෙයක් ආයෙමත් මතක් කළ යුතුයි. ඒ තමයි මං කියුව මේ කරුණ අලුතින් කවි ලියන හැමෝටම අදාල වෙන්නෙ නැහැ. මොකද සමහර අලුත් පොත් කරන නෑඹුල් කවි කිවිදියො ඉන්නවා හරි සුන්දරයි එයාලගේ නිර්මාණ. ඔය දනන් තුඩ තුඩ ජනප්‍රිය නිර්මාණකරුවන් ගෙ නිර්මාණවලට පවා එයා යන සාර්ථක නිර්මාණ ඒ නවක අය බිහි කරනවා.

කොහොම උනත් කවි ලියන ඔබට මම හරි ආදරෙන් කියන්නෙ අමතක නොකර මේ ගැන හිතන්න.. සතතාභ්‍යාසයේ යෙදීමෙන් හා ව්‍යුත්පත්ති ඥානය ලැබීමෙන් දවසක ඔබට දක්ෂ කවියෙක් වෙන්න මග තැනෙන ප්‍රතිභාව ලැබෙන එක නම් ඒකාන්තයි.

@ ගයාන් අබේසිංහ

Monday, January 8, 2018

හිත්මානේ දැවටෙන වස්සානේ සුවද






දෙමාපියන් කිහිප දෙනෙක් ගෙ ඉල්ලීමක් අහක දාන්න බැරිම තැනක ඊයෙ මෙවර සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ළමුන් කණ්ඩායමකට සාහිත්‍ය රසවින්දනය ගැන කියාදෙන්න සිද්ධවුණා. සාහිත්‍ය රසවින්දනය පැයෙන් දෙකෙන් කතා කරලා හමාර කරන්න පුලුවන් දෙයක් නොවෙන හින්දා මං තෝරා ගත්තෙ රත්න ශ්‍රී සර්ගෙ වස්සානෙ ගැන කතා කරන්න. වස්සානෙ ගැන කියන්න ගිහින් අන්තිමට රත්න ශ්‍රී සර්ගේ නිර්මාණ කිහිපයක් ගැන වගේ ම කවිය ගැනත් ටිකක් ගැඹුරට කතා කරන්න සිද්ධ වුණා.

ගෙදර ඇවිත් රැය පාලුවෙන් ගෙවෙද්දි හදිසියේ ම ආයෙමත් වස්සානය කියවීමේ සිතිවිල්ලක් මගේ හිත ඇතුලෙ තෙරපෙන්න පටන් ගත්ත. රාත්‍රියේ පාලු අදුරත් එක්ක මං මගේ පොත්ගුලෙන් වස්සානෙ අරන් පිල්කඩේ වාඩි වුණා. පිළිවෙළක් නැතිව පොත් පිටු පෙරළෙද්දි වස්සානෙ එක්ක මගේ හිත ආයෙමත් තනිවෙන්න ගත්තා. 


‘‘ගිම්හානයේ ගිලන් වී කෘෂ ව සුදුමැලි ව
ඇදි ඇදී ඉකිගැසූ ගග නැවත පිරිපුන්ය
දුෂ්කරය කියා හැර යායුතු ද ජීවිතය
කටු පොකුරු සිප ගනිමි හෙට මලක් වනු පිණිස“


ඇත්ත... ජීවිතේ හැමදාමත් සැප රැදෙන්නෙ නැහැ. දුෂ්කරතා බාධක අපමණයි. අසමත් වී ම් කඩා වැටීම් මේ ජීවිත ගමන් මග අතරෙ මොනතරම් නම් තියෙනවා ද? ඒත් ඒක එහෙමයි කියලා ජීවිතය අත් හැරලා යන්න පුලුවන් ද? පහුගිය කාලෙ පුරාවට අපි පත්තර වල දැක්ක දෙයක් තමයි විභාගය අසමත් වීම නිසා සියදිවි හානිකර ගත් සිසුන් එන්න එන්න ම වැඩිවෙන එක. ඉතින් අපිට මේක නවත්වන්න බැරිද? රත්න ශ්‍රී සර්ගෙ වස්සානෙන් ම අපිට ඒ කඩා වැටෙන දරුවන්ට ජීවිතය දරා ගන්න හැටි කියාදෙන්න බැරිද? ඉඩෝර කාලෙ වේලිලා මියැදිලා වැලි තලා මතු වුනත් වස්සානෙදි මහ වැස්සත් එක්ක ඒ මියැදුනු ගගම මොනතරම් සුන්දර ව ගලා යනවා ද? ජීවිතෙත් එහෙම නේද කියලා මට හිතෙනවා වගේ ම වස්සානෙ කියවන දරුවන්ට අපි තේරුම් කරන්න ඕන කියලා මේ මහ රැයේ මට හිතෙනවා.

මං ජීවත් වෙන්නෙත් හුලංදාව වගේ ම දුෂ්කර පළාතක නිසා මේ සමහර කාව්‍යානුභූති මටත් විදින්න හැකියි. අපේ පළාතෙත් තාමත් පුංචි ඉස්කෝල තියෙනවා.. අල්ලක් පුරවා දැනුම ගෙනියන්න කණකොක් පාට ඇදුමක් ඇදගෙන රබර් බාටවත් නොදැම්ම නිරුවත් පා වලින් පොළොව සිඹගෙන පුංචි උන් ඒ ඉස්කෝලවලටත් පෙළට එනවා මං මගේ ඇස් දෙකින් ම දැකලා තියෙනවා. රත්න ශ්‍රී සර් ගේ වන්නි ගම්දොර කවි පෙළත් එක්ක මං මොහොතකට අතරමං වෙන්නෙ මේ මහ රැයේ අන්ධකාරය මැද්දෙන් මට ඒ රූපරාමුව මැවිලා පේන නිසායි.


‘‘මල් පිපී හෝඩි පොතේ
රොනට ඇදෙන ළමා
රොන් උරා හාමතේ ම
මී බදින ළමා
ගෙමිදුලේ වැල්ලේ හිද
පොත උකුලේ තියා
නිම් නැති සංසාරේ
සිහින දකින ළමා“


දරුවන්ගේ හීන විතරක් නෙවෙයි. ඒ දරුවන්ගේ හීන කවමදාක හරි හැබෑ කරන්න වෙහෙසවෙන දෙමාපියන්ගේ හීනත් මං මේ ගම් තුලානෙදි දැකලා තියෙනවා. දවස තිස්සෙ ගිනි අවුකාස්ටකේ මහ පොළොව එක්ක හැප්පෙන තාත්තා කෙනෙක් හරි හමන් අස්වැන්නක් ගන්න බැරිව ලත වෙන හැටිත්... ලැබුණු අස්වැන්න නගරෙට විකුණලා ලද සොච්චමෙන් ණය තුරුස් ගෙවලා හිස් අතින් ගෙදර එද්දි ඒ ඇස් අස්සෙ පිරිලා තියෙන දුකත් මම දැකලා තියෙනවා. ඒ වගේ තාත්තා කෙනෙක් ගේ හිතේ තමන්ගේ දරුවන්ගේ හීන ගැන මොනතරම් බලාපොරොත්තු කන්දක් ඇත් ද? අනුභූතිය සියයට සියයක් සමාන නොවුණත් මේ පදවැල් අස්සෙ මට ඒ දේවල් හිතෙනවා. 


‘‘ සාක්කුව හිල් වී
සන්තෝෂය මග වැටී
පයේ ගල් මුල් හැපෙමින්
කැළැන්ඩර් කොළ සිතින් කඩමින්
කලුවරේ ගෙදර එමි
ටොපියකට හිනැහෙන
පුංචි දුවගේ අතගෙන
හිතේ දුක ගුලි කොට
තබා සුසුමක් හෙළමි හෙමිහිට“


වස්සානෙ පුරාවට තියෙන මේ සුන්දර කවි අහුරු අපේ හිත් මොනතරම් නම් සනසනවා ද.? මට හදිසියෙම මතක් වෙන්නෙ රත්න ශ්‍රී සර් ගැන කතාවට වැටුණම අනිල් අයියා නිතර කියන දෙයක්. ඒ තමයි  ‘‘මල්ලි රත්න ශ්‍රී සර්ට ඒ කාලෙ ඔය දේශපාලන දඩුවම් මාරුව දුන්න ආණ්ඩුවට අපි පිං දෙන්න ඕන... මොකද ඒ හුලංදා ගමන නිසානෙ අපිට අදටත් විදින්න මේ තරම් සුන්දර කවි අහුරක් ලැබුනෙ“ කියන එක. ඇත්ත තමයි බලාන ගියාම ඒ කතාවත්. 



මේ ඔක්කම අවසානෙ මං කියවන්නෙ සමුගැනීමෙ කවිය. ඒක වස්සානෙ කියෝන කොට මං පුරුදු වෙච්ච දෙයක්. මේ ජීවිතේ තව කොයි කාලයක් අපි ජීවත් වෙයිද කියන්න දන්නෙ නැහැ. ඒ කාලෙදි තව මොනතරම් කඩා වැටීම් සිත් රිදීම් පරාජයන් උරුම වෙයිද කියන්නත් ම අපි දන්නෙ නැහැ. ඒත් ඒ හැමදේ එක්කම අපි ඉස්සරහට යා යුතුයි.


‘‘ආ ගමන හරි දුෂ්කරයි
අප විටෙක ඇද වැටුණා සැබැයි
එහෙත් නතරව එතැන
වැලපිය යුතු නොවෙයි- අප යා යුතුයි“


@ ගයාන් අබේසිංහ