Sunday, September 3, 2017

අමරලා සාමාලා මෙන් ම පාතිමාලා සෙල්වාලා ද මගේ පන්තියේ ඇත.



පාන්දර එළඹ ඇත. අහස තිගැස්සෙන පාටක් හෝ ඉකිබිඳින පාටක් නැත. පාන්දර පවා උණුසුම්ය. හරියට ම ඒවා ද මතක මෙන් ය. මතකද ඇත්තේ සීතල ම ගමන්මගක පවා උණුහුමට ය. මම ජංගමයට පෙර දා රැුයේ පැමිණි කෙටි පණිවිඩය යළිත් කියැවීමි.

‘‘රාගව් ගේ තාත්තා නැතිවුණා. පණිවිඬේ කියන්න ඔයාට කෝල්කරා. පෝන් එක වැඩ කරේ නෑ. අපි මළගෙදර ආවා. රාගව් හිතුවෙ ඔයත් ඒවි කියලා’’

ඒ මීට වසර කිහිපයකට පෙර අතීතයකි. යුද්ධයෙන් පසු මණ්ඩූර් දේවාලයේ පළමු වන පෙරහැර පැවැත්වූ දවස් ය. සිංහල අපි හින්දු කෝවිලේ පෙරහැර බලන්නට මණ්ඩූර් යන එන කාලය ය. එදා ද අපි උන්නේ දෙවොල් බිමේ ය. හදිසියේ පහත් වූ මහ විසල් වරුසාවට අපි සිංහල මිතුරෝ කිහිපදෙනා දිව ගොස් අසල තිබූ පියස්සක් යට නැවතුණෙමු. එතැන තවත් කිහිපදෙනෙකි. ඒ අතර රාගව් ද විය. ඒ යාපනේ මිතුරෝ ය. අපදත් කැඩුණු දෙමළත් ඔවුන්දත් කැඩුණු සිංහලත් එක්කර අපි සුන්දර භාෂාවක් නිර්මාණය කරගතිමු. එවක් පටන් අද දක්වාම රාගව් මගේ මතකයේ උන් සුන්දර මිතුරෙකි. යුධගිනි අවසන් රටක රාගව්ලා වැනි සුන්දර මිනිසුන් ජීවිත කාලය පුරාම සහස් ගණන් සුන්දර මතක කැන්දන වග නො දන්නා සිංහල ජාතිය උසස් යැයි කියන රටක මම රාගව්ගේ මිත‍්‍රත්වයේ භාෂාව අද ද හදවතින් වැළඳගමි.

‘‘සැඩ කුණාටුව අහවරයි දැන්
රැුගෙන ගිය උන් මහ ගොඩයි
කලපු දිය නිිසසලයි ආයෙත්
ඇවිත් යන්නට හිතුවෙ අපිමයි’’
(කපිල එම්. ගමගේ)

රාගව්ගේ මතක අතරින් මේ අහස් ගව්ව යට අමතක කළ නොහැකි බොහෝ මුහුණු මට සිහිවෙයි. ඉස්සර ම දවසක සිංහල කොල්ලන් රංචුවක් මැද මගෙන් අකුරු කළ ෆාසිත් මට සිහිවෙයි. ෆාසිත් කතා කළේ කැඩුණු සිංහල ය. ඒත් වෙනසක් නැති ව ම අනික් කොල්ලෝ රංචුව එක්ක දාංගලේ එමට ය. ෆාසිත් එක්ක ම පන්තියට ආ ගිය නිශ්ශබ්ද කොල්ලා මුෆීන් ය. මුෆීන් ට ද සිංහල යන්තමට හැකිය. මුල් දවස්වල මුෆීන් උන්නේ කතාවට බයේ ය. ඒ සිංහල වැරදීමත් ද්‍රවිඩයෙකු වීමත් සාපයක් සේ සිතා විය යුතුය. එහෙත් මම කෙමෙන් කෙමෙන් උන්ගේ ඒ බය නැති කළෙමි. දැන් මුෆීන් ගැන ආරංචියක් නැත. එහෙත් ෆාසිත් ටවුමේ හාඞ්වෙයාර් කඩයක හිමිකරුවෙකි. සිංහල කඩහිමියන් සමග සමගියෙන් ගණුදෙනුවේ ය. ෆාසිත් ලා ද මුෆීන් ලා ද මගේ පන්තියේ උන්නේ ත‍්‍රස්තවාදය ඔඩු දියුව කාලයක ය. එහෙත් හැම ද්‍රවිඩයෙක් ම ත‍්‍රස්තවාදියෙක් වූයේ නැත. ඒ නිසාම මගේ පන්තියට සෙල්වා ආ මුල් දවසේ මා ඔහුට ආදරෙන් ඇමතුවේ පුතේ කියා මිස ත‍්‍රස්තවාදියා කියා නොවෙයි. සෙල්වා දැන් උපාධිදාරියෙකි. වෙඩි හඬ ඇහෙන පන්තියේ අපි ආදරයේ භාෂාව උගත්තෙමු. ඒ දවස් වල අපි නිතර ඇසූ සුන්දර නමුදු වේදනාත්මක ගීය දීපිකා මිස් ගේ ය. තැන වෙනස් ය. චරිත ද වෙනස් ය. එහෙත් අත්දැකීම එක ම ය. 



‘‘ මාතොටින් එන උතුරු හුළෙඟ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝනියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක්කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පන්තියේ’’
(මහින්ද චන්ද්‍රසේකර)

මුෆීන් ලා ද ෆාසිත් ලා ද මුස්ලිම්ය. බොහෝ සිංහලයන් ට මුස්ලිම්වරු පෙනෙන්නේ තිරිසනුන්ටත් වැඩියෙන් අන්තගාමී ලෙසින් ය. එහෙත් මම උන්නේ ඒ සුන්දර දරුවන් සමඟින් ය. ෆාසිත් ලා සේ ම ෆාතිමා ද මට අමතක නොවෙයි. ෆාතිමා උන්නේ මගේ උසස් පෙළ පන්තියේ ය. ඇය ඇන්දේ සල්වාර්ය. රාමලාන් කාලෙ ට පුංචි කප්වල දමා ඇය හදාගෙනෙන වටලප්පන් කන්නට පන්තියේ අනෙක් සිංහල දරුවෝ මෙන් ම මම ද ආශා කළෙමි. ෆාතිමාට පෙම් කළ සිංහල කොල්ලෝ ද පන්තියේ උන් බව මම නොදැක්කා ම නොවේ.

‘‘මරතෝන්ඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිල් තිරෙන් වැසී රටා වැලපෙතේ
මූක්කු තෝන්ඩි තිරුවන්ගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න ෆාතිමා’’
(මහින්ද චන්ද්‍රසේකර)



ෆාතිමා මෙන් ම නිම්ෂා ද මගේ උසස් පෙළ පන්තියේ උන් තවත් සිසුවියකි. නිම්ෂා අද සුවහසක් දරුවන් ට අකුරු උගන්වන ගුරුවරියක් වන්නට ඉගෙන ගන්නීය. පන්තියේ අවසන් දවසේ නිම්ෂා ගීයක් ගැයුවා ය. ඒ ගීය අපට නොතේරුණි. එහෙත් නිම්ෂා ගීය අවසානයේ එහි අරුත් අපට සිංහලෙන් කියා දුන්නා ය.

‘‘අපි හැමෝ ම මිනිස්සු නම්, අපි හැමෝගෙන ලේ පැහැ රතු නම්, අපි හැමෝගෙම හදවත් එක වැනි නම් ඇයි මේ ඇණකොටා ගැනුම්, වැද භේද අසමගිකම්?’’ ඇය එදා එසේ ඇසූ ඒ පැනයම අද මම සමාජය වෙත දිගු කර බලා සිටිමි.

ලිවුවේ-   ගයාන් අබේසිංහ 
පින්තූර - අන්තර්ජාලයෙනි

No comments:

Post a Comment