Thursday, August 17, 2017

මළවුන් වඳින්න නුඹ එනවද නොරිකෝ අද




නකජිමා සොහොන වෙත අවුදින්
සීතළ රැය
තවරාවි සඳේ මුදු සිසිළස
තරු එළි මැද
තමබොචිය පුරා ඇදෙනා ඒ
සඳ එළි මැද
කොතැනක හෝ නුඹ ඉන්නවාද
නොරිකෝ අද...

සකෙ බඳුන් එකින් එක හිස්වුන
සීතල රැය
මිදොරියේ ගෙවුනු ඒ අතීත 
නටඹුන් පෙළ
මේ සුසානයේ තනිව හිඳින
මළවුන් මැද
මට තෝකියෝව සිහිවෙනවා
නොරිකෝ අද...

නෝ කබුකි රැඟුම් අතරේ අපි
තෙපලූ බස
ලා පුපේ අවන්හල් කෙළවර
උන් මතකය
පොද වැස්ස යටින් සකුරා මල්
පිපෙනා සඳ
මොහොතක් මා ළඟ නවතිනවද
නොරිකෝ අද...

සයනොරා කියා සමුදෙන්නේ
කොහොමද මම
මේ සුසානයට නුඹ එනතුරු
ඉන්නම් අද
නේඹුරු දොඩමක ඉස්ම පොවා
අතගා හිස
මළවුන් වඳින්න නුඹ එනව ද
නොරිකෝ අද...

ගයාන් අබේසිංහ

4 comments: