Sunday, July 29, 2018

බැලූම් මාමාගෙන් ඉගෙන ගනිමු ද?



මීට ටික දවසකට කලින් නගරයේ එක්තරා ජාතික පාසලක් ළඟ දි කහ ඉර මාරුවෙන්න බැරිව හුඟක් වෙලා අසරණ ව බලා උන්න ඇස් දෙකම අන්ධ වයසක ආච්චි කෙනෙක් මං දැක්කා. හොදම කාරණය තමයි මේ වෙලාවෙ අර පාසලේ ඉගෙන ගන්න දහස් ගාණක් ළමයි මේ ආච්චිව පහු කරගෙන හිනාවෙවී පාර මාරුවෙමින් උන්නත් එක ම ළමයෙක්වත් ආච්චිට උදවු කළේ නැති එක. ඒ ආච්චි බොහොම වැරහැලි වෙච්චි ඇඳුමක් ඇ`දගෙනයි හිටියෙ. ඒ වගේ ම මම දැක්ක හැටියට ඇගේ ශරීරය මොකද්දෝ ලොකු ව්‍යාධියක් නිසා අසාමාන්‍ය විදියට විකෘති වෙලයි තිබුණෙ. බොහෝමයක් ළමයි මේ ආච්චි ළඟින් ගියේ පිළිකුලෙන් ඒ ආච්චි දිහා බලමිනුයි. මට ඇත්තටම ඒ මොහොතෙ හිතුණ එක ම සිතුවිල්ල තමයි මේ විදියට අර අසරණ වෙලා ඉන්න වයසක ආච්චි දිහා නොබලා ම තමන්ගේ ගමන යන්න වෙහෙසෙන මේ ළමයි අතරෙ අනාගතේ දොස්තරවරු, ඉංජිනේරුවො, ගුරුවරු විතරක් නෙවෙයි තවත් මහා විශාල උගත්කම්වලින් පිරුණ මිනිස්සු සහ ලොකු ලොකු තානාන්තරවලට යන අය ඉන්නවා නේ ද කියන එක. ඇත්තට ම මේ අයගෙ දෙමවුපියෝත් දවසක මේ විදියට වයසට ගිය දවසට මේ දරුවො තමන් ගේ දෙමවුපියන්ව ආදරෙන් රැුක බලා ගනියිද කියන ප‍්‍රශ්නය හිතට ආවෙ නිරායාසයෙන් ම යි.

ඇත්තටම සාක්ෂරතාවය අතින් ඉහල ම සුදුසුකම් සපිරුව රටක් හැටියට අපි කොයි තරම් නම් ආඩම්බර වෙනව ද? ඒත් සාක්ෂරතාවය සහ අධ්‍යාපනය ලැබුව පමණින් අපිට සතුටු වෙන්න පුලූවන් ද? ලංකාවෙ බොහෝමයක් පාසල් ශිෂ්‍ය ප‍්‍රජාව විතරක් නෙවෙයි සමාජයේ වාසය කරන අයත් මෙන්න මේ කාරණයෙ දි උත්තර දෙන්න ගියහම අසරණ වෙනවා. හේතුව උගත්කම තිබුණ පමණින් ම කෙනෙක් ට වටිනාකමක් ලැබෙන්නෙ නැති නිසා. භාහිර සුන්දරත්වය ආටෝපය පොත පතින් ලද සිද්ධාන්තමය දැනුමින් විතරක් මනුෂ්‍යයෙක් වෙන්න බැහැ කියල ලංකාවෙ බොහෝමයක් දෙනෙක් දන්නේ නැහැ.
මේ කාරණය මෙහෙම ලියද්දි මට මං කොහෙන් හෝ ඇහුව පුංචි කතාවක් මතක් වුණා. ඒ නිසා මං වෙනස් පාරෙන් එන හැමෝම වෙනුවෙන් මේ ලස්සන ඒත් වැදගත් පනිවිඩයක් දෙන මේ කතන්දරය ලියා තියන්න හිතුවා.

එක්තරා පාසලක් ළඟ බැලූන් විකුණන බැලූන් මාමා කෙනෙක් උන්නා. මේ බැලූම් මාමා හැමදාම පාසල ඇරෙන වෙලාවට තමන් ගෙ බැලූම් ටික අරගෙන ඇවිත් පාසලේ ගේට්ටුව ගාව තියාගෙන විකුණනවා. මේ බැලූම් මාමාගෙන් බැලූම් ගන්න පුංචි ළමයි හැමදාම පොරකනවා. මොකද? මේ බැලූම් මාමා ගාව තිබුණා හයිඩ‍්‍රජන් පුරවන මැෂින් එකක්. ඉතින් මාමා තමන්ගෙ බැලූම් වලට හයිඩ‍්‍රජන් පුරවලා දුන්නම ළමයි ඒ බැලූම් වල තමන් ගෙ නම ගහල උඩට යවනවා. මේ හින්දම හැමදාම ඉස්කෝලෙ ඇරුණ ගමන් ළමයි ගේට්ටුව ගාවට දුවගෙන එන්නෙ අර බැලූම් මාමා ගෙන් බැලූම් අරගන්නයි.

දවසක් එක පුංචි ගෑණු ළමයෙක් පාසල ඇරිලා පරක්කුවෙලා දුවගෙන එනවා බැලූමක් මිලදී ගන්න. ඒත් ඒ වෙනකොට බැලූම් මාමාගෙ ළඟ තිබුණ පාට පාට බැලූම් ඔක්කොම විකිණිලා ඉවරයි. ලස්සන ලස්සන රතු, නිල්, කොල, දම්, කහ, රෝස වගේ පාට පාට බැලූම් තමයි මේ මාමා විකුණන්නේ. ඒත් මේ පුංචි ගෑණු ළමයා එනකොට අර ලස්සන බැලූම් ඔක්කොම විකිනිලා කලූපාට බැලූම් දෙක තුනක් විතරක්  මාමා ගෙ අතේ ඉතුරු වෙලා තිබුණා. මාමා ගෙ ළඟට කිට්ටු උන අර පුංචි ගැණු දරුවා අහනවා.
‘‘මාමෙ වෙන පාට බැලූම් නැද්ද?’’ කියලා
‘‘නෑ පුතේ මේ කලූ පාට බැලූම් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ’’ මාමා උත්තර දෙනවා.
ළමයා හරි දුකෙන් වගේ ඊට පස්සෙ අහනවා.
‘‘මාමෙ අර පාට පාට බැලූම් වගේ මේ කලූපාට බැලූමත් උඩ යනව ද?’’ කියලා


මාමාට දරුව ගෙ හිතේ තියෙන දේ තේරෙනවා. දරුව විස්වාස කරන්නෙ කලූපාට බැලූම කැතයි කියලයි. ඒ වගේ ම කැත නිසා බැලූම උඩ යන්නෙ නැතිවෙයි කියලයි කියන කාරණය මාමා තේරුම් ගන්නවා. මේ පුංචි දැරිවිට ජීවිතේ ගැන ගැඹුරු පාඩමක් සරලව කියා දෙන්න ඒ සුදුසුම වෙලාව කියල මාමා තේරුම් ගන්නවා. වට පිට බලද්දි මාමා දැක්ක ඒ වෙලාවෙ එතන උන්න ලස්සන පාට පාට බැලූමක් මිලදී ගත්ත තව පුංචි දරුවෙක්. මාමා මේ පුංචි දරුවගෙන් මොහොතකට ඒ බැලූම ඉල්ල ගෙන ඒ බැලූමෙ හුළං අයින් කරල කටින් හුළං පිඹලා අතෑරියා. ලස්සන උනත් දැන් ඒ බැලූම උඩ ගියේ නෑ. බිමට වැටුනා. දැන් අර කලූපාට බැලූමත් මාමා අතෑරලා පෙන්නුවා. ඒ බැලූම උඩ ගියා.

දැරිවි තේරුම් ගත්තා බැලූම උඩ යන්නෙ භාහිර පාට පාට සුන්දරත්වය නිසා නෙවෙයි. ඇතුලෙ පුරවලා තියෙන වාතයේ විශේෂත්වය නිසාය කියලා. පුංචි දැරිවිට මාමා ඒ විදියට ලස්සන පාඩමක් උගැන්නුවා. ඒ තමයි කෙනෙක් ඉහළ යන්නෙ එයාගේ භාහිර ස්වරූපය හෝ ලස්සන නිසා නොවෙයි එයාගෙ අභ්‍යන්තරයෙ තියෙන වටිනාකම් නිසාය කියන එක.



ඉතින් දැන් ඔයාටත් හිතන්න දෙයක් තියෙනවා නේද?  භාහිර සුන්දරත්වය නෙවෙයි නේද දවසක අනාගතේ දි ඔයාට ඉහළ තැනකට යන්න අවශ්‍ය වෙන්නෙ. දවසක මනුෂ්‍යත්වයෙන් යුක්තව ඉහළට යන්න වැදගත් වෙන්නෙ අභ්‍යන්තර සුන්දරත්වය නේද? කල්පනා කරලා බලන්න නිකම් ඉන්න වෙලාවක ඔයාට මේ පුංචි කතාව ඒ ගැන හිතන්න වෙනස් පාරක් පෙන්වයි. එහෙම නම් අමේ සතිය පුරාවට ම ඔය ගැන හිතන්න කියලා මං සමුගන්නවා.

@ ගයාන් අබේසිංහ

No comments:

Post a Comment