Monday, July 30, 2018

නමක් නැති මහ කන්ද ඔබ අප්පච්චි...






පහුගිය දවසක මහ රාත්‍රියේ මගේ ජංගමය නාද වෙනවා. ගොඩක් වෙලාවට මහ රැයේ මට ඇමතුම් එන්නෙ මගේ පන්තිවල පොඩි උන්ගෙන්. ඒ මගේ නිදහස් වෙලාවත් මං උන්ගෙ ඉගෙනීම වෙනුවෙන් වෙන් කරලා දුන්න හින්දා. මම ඇමතුම සම්බන්ධ කර ගන්නවා. අනෙක් පස ඉන්නෙ මගෙන් අකුරු කරපු සිසුවියක්. දැන් ඇය සරසවි මානවිකාවක්.

‘‘සර්... තාත්තාට හිමි සමාජ බලාධිකාරය ගැන ලියවුණ ගීතවලින් අසයිමන්ට් එකක් කරන්න වෙලා. විස්තර ටිකක් කියා දෙන්නකො“

ඇගේ ඉල්ලීම පිට මං ගීත කිහිපයක් ගැන කතා කරනවා. ඇය ඇගේ අවශ්‍යතාව ඉෂ්ට කර ගන්නවා. ඉන්පසුව ඇමතුම අවසන් වෙනවා.  ඒත්... ඒ කතාවත් එක්ක මගේ හිත තව තවත් දුර යනවා. ඇත්තට ම තාත්තා කියන්නේ මොනතරම් උතුම් කෙනෙක් ද කියන එක මං ඇස් දෙක පියාන කල්පනා කරනවා. ඊට සති කිහිපයකට කලින් ඉස්කෝලෙ අරුණැල්ල ගුවන් විදුලියේ පිය ගුණ ගීතයක් ගැන කතා කරන්න ඕන කියලා අයියගෙ දුව ඇවිත් මගෙන් ඒ ගැන විස්තර ඇහුව එකත් ඔය අතරෙ මට මතක් වෙනවා. ‘‘මේ සින්දුව ගැන තමයි මට කතා කරන්න ඕන“ එයා ඇවිත් තිබුණෙ සින්දුවකුත් තෝරගෙන.

දරු දුක උසුළා තනිව වැළපෙනා
බුදුබව පතනා
පියවරු වෙසෙනා
පූජාවේවා... පූජාවේවා !
(පද- ධර්මසිරි ගමගේ)

වචන ටික ඇහෙද්දිම පපුව හිරි වැටිලා යනවා. ධර්මසිරි ගමගේ ලියුව ඒ වචන පේළියේ අර්ථය මොනතරම් නම් ගැඹුරුද? මට මගේ තාත්තාව මතක් වෙනවා. තාත්තා තැපල් සේවකයෙක්. එයා තමයි ගමට ම ලියුම් බෙදුවෙ. මට දැනුම් තේරුම් තියෙන කාලේ තාත්තා ලියුම් බෙදුවෙ අපේ ගමේ. ඒත් මං ඉපදෙන්න කලින් තාත්තා විදපු දුක් කන්දරාව ගැන අදත් ඉදහිට අම්මා කියනවා. ඉස්සර අවුරුදු පහක් තාත්තා ලියුම් බෙදලා තිබුණෙ අපේ ගමේ ඉදන් කිලෝමීටර් පනහකටත් එහා තිබුණ පැත්තක. උදේ පාන්දර නැගිටලා ලුමාලා බයිසිකලෙන් ඒ කිලෝමීටර් ගානම ගිහිල්ලා කන්තෝරුවෙන් ලියුම් මිටිය අරන් ඒ ගමපුරාම බයිසිකලෙන් ලියුම් බෙදලා හැන්දෑවටත් පස්සෙ ආයෙමත් අර කිලෝමීටර් පනහටත් වැඩි දුර ගෙවාගෙන බයිසිකලෙන් ගෙදර ආව තාත්තා දිනපතා අවුරුදු පහක් ඒ දුක විදලා තිබුණා. ඒ එයාගේ සැපට නෙවෙයි. අපි ව ජීවත් කරන්න. ඇත්තටම තාත්තා කෙනෙක් ගේ ආදරේ ගැන වචනවලින් ලියන්න බැරි ඒ කැපකිරීම් මහමෙරකටත් වැඩි හින්දයි.

අතීතේ දවසක සාමාන්‍ය පෙළෙන් පස්සෙ අපි උසස් පෙළ කරන්න ඉගිල්ලුනාට සාමාන්‍ය පෙළ විභාගෙ පාස් කර ගන්න බැරි වුණ මගේ මිත්‍රයෙක් ජීවත් වෙන්න කුලී වැඩ කරන්න පටන් ගන්නවා. ගමේ කුලී වැඩ කරලා ජීවිතේ ගොඩ නගා ගන්න බැරි තැනදි පිටගමකට ගිහින් මොකක් හෝ රස්සාවක කරන්න මිත්‍රයා උත්සහ ගන්නවා. ඒ යන්න කලින් දවසක මාව බලලා යන්න ගෙදරට එන ඒ මිත්‍රයා මට කියන්නෙත් තාත්තා ගැන

‘‘තාත්තට වැඩ කරන්න බෑ අබේ.. මං මොකක් හරි කරලා කීයක් හරි එවන්න හිතාගෙනයි මේ යන්නෙ“

එහෙම කියලා මගෙන් සමුගෙන ගිය මිත්‍රයා අයෙ ගමට එන්නෙ ඉස්සර වගේ හිනාවේගන නෙවෙයි. මල්ශාලාවෙ වෑන් එකකිනුයි. ‘‘කුඹුරෙ වැඩ කරද්දි වක්කඩෙන් වතුර බීලා.. දොස්තරලා කියලා තිබුණෙ මී උනෙන් මැරිලා කියලයි“ මළගෙදරදි ගොඩක් අය කතා වෙනවා. ඒ අස්සෙ ඒ පුතාගෙ මිනිය දිහා ඒ තාත්තා නිහඩව බලං ඉන්නවා. අවසාන කටයුතු කරපු හැන්දෑවෙ කිලිටි වෙච්ච සුදු සරමෙනකෙදුලු පිහිදපු ඒ තාත්තා කනත්තෙ තැනක වාඩිවෙලා හැමෝම ගියාට පස්සෙ සො‍හොන් කොත දිහා බලන් උන්න හැටි මට අදටත් මැවිලා පේනවා.


පියකුගෙ දුක කියාපාන
මහදිය කද කළාවැවේ
දරු සෙනෙහස අල්ලාගෙන
රැළි නංවා හඩා වැටේ
(පද- රඹුකන සිද්ධාර්ථ හිමි)



පහුගිය දවසක මගේ සමීපතම මිතුරියකගෙ තාත්තා රෝහල්ගත කරනවා. මගේ ජීවිතේ බොහෝමයක් කඩා වැටුණු තැන්වලදි ඒ තාත්තත් දුවත් මට අප්‍රමාණව ආදරය දීලා මට නැගිටගන්න උදව් කරනවා. ඒ නිසාම ද මන්දා ‘‘ගයාන්, තාත්තා ඉස්පිරිතාලේ නැවැත්තුවා“ කියන වචන ටික ඇහෙද්දිම මටත් මහා වේදනාවක් දැනෙනවා. අවුරුදු ගානක ඉදන් පිළිකාවක් එක්ක පොර බැදුව හින්දම ද මන්දා මං රෝහලට යද්දිත් ඒ වියපත් මනුස්සයාගේ මුහුණෙ තිබුණෙ වෙහෙසකර පෙනුමක්.  ඒත් ඒ වෙහෙස මැදින් ඔහු මා එක්ක හිනාවෙන්න වෙර දරනවා. මං ඒ අතක් තදින් අල්ලා ගන්නවා. ජීවිතේ අන්තිම මොහොත බව දැන දැනත් ඔහු කතා කරන්නෙ ඔහුගේ දුව ගැන.

‘‘පුතුසෙනේ සම් මස් නහරයෙන් සිද
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුළු තුළ රදා පවතියි
දුක් දේ නිබන්දා“
( පද- සරත්චන්ද්‍ර- සිංහබාහු පිටපත)

ඊටත් සතියකට පස්සෙ ඒ තාත්තා සදහටම ඇස් පියා ගන්නවා. ආදාහනයට මට යා ගන්න බැරි වෙනවා. ඒ නැගිටගන්න බැරි තරමට ම මම අසනීප වීම නිසා. ආදාහනයෙන් සතිදෙකකට පස්සෙ මගේ මිතුරිය මං බලන්න එනවා. ඇගේ ඇස් කදුලුවලට ම පෙගිලා. මට මොනවා කියන්න ද කියලා හිතා ගන්න බැහැ. ඇය කතා කරනවා. ‘‘මං තාත්තා වෙනුවෙන් මට පුලුවන් හැමදේම කරා. පින් දුන්නා. ඒත් මට තාත්තා නැතිව ඒ ගෙදර තවත් ඉන්න බෑ ගයාන්. මං ලබන සතියෙ ලංකාවෙන් යනවා. “ ඇය එහෙම කියනවා. ඇත්තට ම තාත්තාගේ ආදරේ මොනතරම් නම් අපිව ජීවත් කරන්න වෙහෙසවෙනවා ද? මේ ඔක්කම සිදුවීම් අතරේ මට එහෙම හිතෙනවා.

සියක් උල්පත් මවා
නිසලව ම හිදිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චි...
(පද- ධම්මික බණ්ඩාර)

ඇත්තටම තාත්තෙක් කියන්නෙ හැමදේම දරාගෙන ඉන්න මහා කන්දක් ම තමයි.

@ ගයාන් අබේසිංහ

No comments:

Post a Comment