Thursday, August 16, 2018

එපා දුවේ එපා ඒ කතා අහන්නට - මමයි දුවට ලේ කිරිකර දෙන්නේ



තාත්තලා ආදරේ දූවරුන්ට ය. පුතාලාට ද ආදරේ කරත් අල්පමාත්රයක් හෝ වැඩියෙන් තාත්තලා දූවරුන්ට ආදරේ ය. මම ද ප්රේම කරන අවදියේ සිතෙහි වූ අනන්ත ප්රේම ප්රාර්ථනා අතරින් දුවෙකු පැතූ අතීතයක් මට තිබුණි. එදවස මම මගේ පෙම්වතියට කියුවේ ''ඔයා වගේ ලස්සන දුවෙක් මට අවැසි'' කියාය. එහෙත් ඒ අතීතයක් ම වී මගේ ප්රේ මයේ මළගම අභියස දියණිකට පියෙක් වීමේ අහිංසක බලාපොරොත්තුව සිහිනයක් ම විය. එහෙත් මගේ පන්තිවල වැඩියෙන් ම වූයේ පුතාලාට වඩා දුවලා ය. මම උන්ට අපමණව ප්රේම කළෙමි. අද ද එසේ ම ය. ඒ නිසාදෝ බොහෝ දූවරු අම්මා තාත්තාට පවා නොකියන දෑ මා සමග කියන අවස්තා ද ඇත.

අතීතයේ දිනවල මගේ තරුණ වියේ දී සංගීත කණ්ඩායමක සංගීත ශිල්පියෙක් සේ කටයුතු කළ යුගයක් මට ඇත. බොහෝ අවස්තාවල මංගල උත්සව සදහා අපි සංගීතය සැපයුවෙමු. මනාලියක වී යන දියණිය වැළද අඩන අම්මලා මා දැක ඇත. එහෙත් දියණියට හොරෙන් ඇස්වලින් කදුලු පිසින්නේ අප්පච්චිලා ය. කෙල්ලෙක් හැදුවොත් ගෙදරින් පිට දෙන්න වෙනවා යැයි කියා ගම්ගොඩේ කතාවක් ඇත. එහෙත් දිනෙක එසේ නිවසින් පිටමංව යන බව දැන දැනත් කොල්ලන්ට වඩා ආදරෙන් පරිස්සමෙන් කෙල්ලෝ හදන අප්පච්චිලා කොතරම් සැර වැර කරත් අවසානයේ මංගල නැකතින් යන දියණියන් ගැන මොනතරම් වේදනාවෙන් හඩනවා ඇත් ද?

‘‘මල් බෝනික්කං පූසි පැටව් ටික
පාට ගවුම් පොඩි අද තනිවෙනවා
පියාණනේ ඔබෙ ආසිරි විද විද
ඉරණම් ගමනක් යන්නට යනවා...“
(පද- අජන්තා රණසිංහ)


එසේ කියා නිවසින් යන දෝනිලා ගැන අප්පච්චිලාගේ හිතට නිවනක් නැත. එහෙත් විවාහව ගිය දියණිය බලන්නට අප්පච්චිලා නිතර නිතර යන්නේ ද නැත. ඒ නිසා ම විවාහයෙන් පසුව වෙන්ව ගිය දෝනිව බලන්නට අම්මාව නිතර නිතර පිටත් කොට යවා දෝනිගේ සැප සනීප සොයා බලනා අප්පච්චිලා ගේ හිත් මහ පුදුමය. මම එවන් අප්පච්චි කෙනෙක්ගෙන් වරක් ඒ ගැන අසා ඇත්තෙමි. ‘‘අනේ ගෙදර උන්න කෙල්ලනෙ. මට ගිහින් බලලා ආයෙ හැරිලා එන්න එද්දි හරි දුකයි මහත්තයෝ. ඒ නිසා මං අපේ ගෙදර උන්දැව නිතර යවනවා තනියම“ ඇත්තටම අප්පච්චිලාගේ හිත්වල දෝනිලා වෙනුවෙන් ඇති ආදරේ මොනතරම් විශාලද?

පහුගිය කාලයේ මගේ පන්තියේ දුවෙක්ගේ මවක් මා සොයා ආවාය. ‘‘අනේ සර් බලන්නකෝ අපේ කෙල්ල කරගත්ත දේ“ ඇය ආවේ ද ගියේ ද හැඩූ කදුලින් ය. ඉගෙන ගන්න අපමණ දක්ෂතා දැක්වූ දියණිය විභාගය අතැර විවාහය සොයා ප්රේමවන්තයෙකු සමග ඉගිල ගොස් තිබුණි. ‘‘තාත්තාත් නැති ව මං ඔය කෙල්ල ලොකු මහත් කරේ සර්. අනේ මේ කෙල්ල ඇයි මෙහෙම දෙයක් කරේ“ ඒ අම්මාගේ කදුලුවල ඇත්තේ ළය තුළ දැවෙන වේදනාව ය. එහෙත් ඒ වේදනාව ඒ දුවට දැනෙන්නේ නැත. ඒ ඇය පෙමාතුර කොවුල් නදකට වසගව ඇති නිසාය. එහෙත් ඇයත් මවක් වූ දවසක ඒ දුක ඇයට ඇසෙනු ඇත. අම්මලාට කොයිතරම් උස් මහත් වුව ද දූවරු තවමත් ළයේ හොවාගෙන කිරි පෙවූ අත දරුවන් ය. ඒ නිසා ම අම්මලා දූවරු ගැන දන්නා තරම් දන්නේ ද ආරක්ෂා කරන තරම් ආරක්ෂා කරන්නේ ද වෙන කවුරුන් ද? ඒ අම්මලා ම පමණය.

‘‘චන්ද්රමඩුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ “
(පද- මහින්ද අල්ගම)

ඇත්ත. දූවරුන් වෙනුවෙන් හංදියක් හංදියක් පාසා අනග බැලුම් හෙළමින් බලා හිදින බොහෝ සල්ලාල ආත්ම අභියස අම්මාගේ ආදරේ තරම් දුවෙක්ට වෙන ආරක්ෂාවක් කොයිඹද?

සමහර තාත්තාලාගේ ආදරය මොනතරම්දැයි මා අත් දැක ඇත. වරක් උදුවප් වැසි අහස යටින් පන්තිය අවසන්ව ගෙදර එන්නට බස් නැවතුමට යද්දි අතරමග හමුවූ නන්නාදුනන පියෙකි. වැස්ස හේතුවෙන් අප දෙදෙනා ම උන්නේ එකම බස් නැවතුමක පියස්සේ ය. ඒ වියපත් මිනිසා සමග කතා බහ කරද්දි ඔහු කියූ කටුක පුවත ඇස් තෙත් කළ නිසා ම පසුගිය වසරේ මා ලියූ ඇස් තෙත් කළ මතක කෘතියේ ද මම ඒ කතා ව ලියුවෙමි. අම්මා ද නැතිව දියණියක උස් මහත් කළ ඒ පියා දියණිය කෙරෙහි අපමණ විස්වාස තබා හිද ඇත. එහෙත් දියණිය නගරයේ ටියුෂන් පන්ති අසල සැරිසරන සල්ලාල ආත්මයකට වසගව අවසන දරුවෙක් වෙනුවෙන් සිය කුස යහන තනා ඇත. එහෙත් උසස් පෙළවත් නිමා නැති ඇය කෙසේ නම් ලොවට මුහුණ දෙන්නද? සියල්ල කෙළවර වන්නේ ඇය අප්පච්චි කුඹුරට ගසන්නට ගෙන ආ කෘමි නාෂක බෝතලය පානයෙන් ය. එදා ඒ අප්පච්චි ඒ කතාව මට කියුවේ ඔහුගේ ඇස් තෙත් ව ගලන කදුලින් වියපත් මුහුණ තෙමෙද්දීය. අවසන ඒ අප්පච්චි කියූ වචන ටික මගේ සවනේ අද ද රැව් දෙයි. ‘‘ අනේ පුතේ, මේ වෙලා තියෙන දේ නිකම්වත් මං දැනං උන්න නම් මං මගේ රත්තරං කෙල්ලට මොකුත් කරගන්න දෙන්නෙ නැහැ. මට ඒකි මොන දේ වුණත් කවදාවත් බරක් නෙවෙයි“

‘‘මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සින්දු කියුවෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
පාර මතක නම් තාමත් ගේ ළගයි දුවේ“
(පද- රත්න ශ්රී විජේසිංහ)

ඇත්තට ම ඒ තාත්තලා ගේ හැටිය. අප්රමාණ සෙනෙහසින් තමන්ගේ දූවරුන්ට ආදරේ කරන ඒ තාත්තලාගේ හදවතේ ඇති ආදරේ ඇබින්දක් හෝ තේරුම් ගන්නේ නම් දූවරු මොනතරම් ඒ තාත්තලාගේ පපුවට තුරුල්ව ආදරේ විදිනු ඇත් ද?

අම්මලාගේත් තාත්තාලාගේ ත් ආදරේ අභියස හැදෙන දූවරුන් ට ඇති ආරක්ෂාව දෙන්නට දෙවි දේවතාවුන් ට ද නොහැකි වනු ඇති බැව් නම් සැබෑය.

@ ගයාන් අබේසිංහ

No comments:

Post a Comment