Wednesday, August 1, 2018

ලොව කම්පාකළ ගුවන් අනතුරකට පසු කතාව Aftermath



ඒ ඉතිහාසයේ තවත් අඳුරු දිනයක්. හරියටම කියුවොත් ඒ දෙදහස් දෙක වසරේ ජූලි පළමු වෙනිදා දවසක්. එදත් Bashkirian Airlines Flight 2937 ගුවන් සේවයට අයත් Tupolev Tu-154 නම් මගී ප‍්‍රවාහන ගුවන් යානයත් DHL Flight නම් බෝයිං 757 වර්ගයේ භාණ්ඩ ප‍්‍රවාහන යානයත් ඉහල අහසට ඇදෙන්නෙ සිය සුපුරුදු රාජකාරි කටයුත්තේ යෙදෙමින් ගුවන් ගමනා ගමන කටයුතු සාර්ථක ව සිදු කිරීමේ බලාපොරොත්තුවෙන්. මගී ප‍්‍රවාහන ගුවන් යානයේ කාර්ය මණ්ඩලයත් ඇතුලූව හැට නමයක පිරිසක් ගමන් කරා. භාණ්ඩ ප‍්‍රවාහන යානයේ නියමුවන් දෙදෙනෙක් ගමන් කරා. මේ යානා දෙකෙහි ම උන් කිසිවෙකුටත් ගුවන්ගත වෙන මොහොතේ පවා එදා ඔවුන් ගේ ජීවිතවලට ගුවනේ දී සිදුවන දෙය නිකමට හෝ දැනී තියෙන්න නැතිව ඇති. හරියට ම ජර්මනියේ Uberlingen නගරයට ඉහල අහසේ දී මුලූ මහත් ලෝකයම කම්පාවට පත් කරමින් මේ ගුවන් යානා දෙක එකිනෙක ගැටුනා. අනතුරින් කිසිවෙකුටවත් ජීවිතය ගලවා ගන්න බැරි උනා. මේ කියුවෙ සත්‍ය කතාවක්.

ඒත් ඇයි මෙහෙම අනතුරක් වුණේ...?
කවුද ඒ ගුවන් යානයේ ගමන් කළේ?
ඒ අයගේ පවුල් වල අය මොනතරම් නම් දුක් වෙන්න ඇති ද?
ඒ අනතුරට වගකිව යුත්තාට මොකද වුණේ?

මේ සිද්දියත් එක්ක මේ වගේ ප‍්‍රශ්න ගණනාවක් ඔබේ හිතට එනවා ඇති නේ ද? ඔව් ඒක මේ වගේ දෙයක් ඇහුවම සාමාන්‍යයෙන් අපිට ඇතිවෙන හැඟීම්වල ස්වභාවයනෙ. ඒ හැමදේටම උත්තර දෙන්න මේ සත්‍ය සිද්ධිය ඇසුරෙන් නිර්මාණය කළ සිනමා පටය නරඹන ලෙස මම ඔබට යෝජනා කරන්නෙ අන්න ඒ නිසයි. අපි දකින සිදුවීමක මාධ්‍ය මගින් හෝ යම් ආකාරයකින් අපට විස්තර වෙන කොටස හැරුණම එතනින් එහාට මොනතරම් දේවල් තියෙනවා ද කියලා ඔබට දැනේවි Aftermath සිනමා පටය නැරඹුවා ම.

මේ වසරේ අපේ‍්‍රල් මාසයේ හත් වනදා තිරගත වීම ඇරඹෙන මේ Aftermath සිනමා පටය මිනිත්තු අනූ දෙකක් පුරා දිවෙන ඩ‍්‍රාමා ත‍්‍රිලර් ඝනයට අයත් සිනමා පටයක්. ඩොලර් මිලියන දහයයි දශම පහක් වැය කරමින් හැදුව මේ සිනමා පටයට IMDB අගය 5.8 ක් සහ ටොමැටෝ චාර්ට් අගය 39% ක් ලැබිලා තියෙනවා. එලියට් ලෙස්ටර්ගේ අධ්‍යක්ෂනයක් සහ ජේවියර් ගලන්ගේ රචනයක් හැටියට තමයි Aftermath සිනමා පටය එළිදකින්නෙ.


රෝමන් මෙල්නික් කියන්නෙ සිනමා පටය ආරම්භයේ දි ම අපට මුණ ගැහෙන තරුණයෙක් වගේ කඩිසර නමුත් මහලූ ඉදිකිරීම් ශිල්පියෙක්. හරියට ම කියුවොත් ඉදිකිරීම් වැඩ බිමක සුපවයිසර් වරයෙක්. රෝමන්ගේ චරිතය දැක්ක ගමන් සිනමාවට ආගන්තුකයෝ නොවන අයට නම් එක්වරම රෝමන් වෙනුවෙන් පෙනී හිටින්නෙ කවුද කියලා තේරුම් ගන්න පුලූවන් වෙයි. ඒ තමයි ප‍්‍රවීණ ක‍්‍රියාදාම නලූවෙක් වුණ ආර්නෝල්ඞ් ස්වසනෙගර්. ඉතින් මේ රෝමන් ඉන්නෙ බොහොම ප‍්‍රීතියෙන්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි රෝමන්ගේ ආදරණීය බිරිඳ ඔලේනා සහ ගැබිනියක වන ආදරණීය දියණිය නාදියා දීර්ඝ කාලයකට පස්සෙ අද නිවෙස බලා එන එක. පවුලේ බැඳීම් එක්ක පවුලේ සාමාජිකයෝ එක්ක කාලය ගෙවන එක තරම් ආදරණීය කටයුත්තක් තව කොහේ ද? ඒ හින්දාම ද මන්දා රෝමන් ඉන්නෙත් කියාගන්න බැරි තරම් සතුටකින්. තමන්ගේ ආදරණීය බිරිඳ හා දියණිය පිළිගන්න මුලූ ගෙදර ම අස්කරලා ලස්සනට ලෑස්ති වෙලා රෝමන් ගුවන් තොටුපළට යන්නේ ඒ දෙන්නව එක්කරගෙන එන්න. ඒත්... රෝමන් ගේ හැම බලාපොරොත්තුවක් ම බිඳෙනවා. ඒ ගුවන් තොටුපලේ දි අහන්න වෙන කතාවෙන්. ඔලේනා සහ නාදියා ආව Tupolev Tu-154 ගුවන් යානය අනතුරකට ලක්වෙලා. රෝමන් ට දැනෙන්නෙ මුලූ ලෝකෙම කඩා වැටුණා වගේ හැඟීමක්.
Aftermath සිනමාපටයේ සංගීත නිර්මාණ ශිල්පියා වන මාර්ක් ටොඞ් හරි සියුම් විදියට මේ සිනමා පටය පුරාවට ම සංවේදී පසුබිම් සංගීත නිර්මාණයක යෙදෙන්නෙ රූප රාමු ඇතුළෙ වෙන දේවල් පේ‍්‍රක්ෂකයාට තවත් සංවේදී විදියට විඳින්න ඉඩ සලස්වමින්. රෝමන් ගෙ කඩා වැටීම... විඳවීම ... හරි සියුම් විදියට අපිට දැනෙන්නෙ මාර්ක්ගෙ අපූරු සංගීත හරඹයත් එක්ක.

රෝමන් වගේ ම මේ සිනමා පටයේ දි අපිට තවත් චරිතයක් මුණ ගැහෙනවා. ඒ තමයි ජේක්. ස්කූටි මැක්නෙරි තමයි ජේක් ට පණ පොවන්නෙ. ජේක් කියන්නෙ එක් දරු පියෙක්. හරියට ම රෝමන් වගේ ම යි. වෙනස තමයි ජේක් ට ඉන්නෙ පුතෙක්. රෝමන් තමන්ගේ බිරිඳට දියණියට ආදරය කරනවා වගේ ම ජේක් ද තමන්ගේ බිරිඳට සහ දරුවට අසීමිතව ආදරය කරනවා. ජේක් ගේ රැකියාව වෙන්නේ ගුවන් යානා අංගනයේ මෙහෙයුම් පාලන මැදිරියේ කටයුතු කරන එක. එදත් මේ කියන දවසේ ජේක් තමන්ගේ රාජකාරිය කරමින් ඉන්නවා. ඒත්... අවාසනාවට ජේක් අතින් වෙන තත්ත්පර ගාණක සුලූ ප‍්‍රමාදයක් නිසා මුලූ ලෝක ඉතිහාසයට ම වේදනාත්මක ෙඛිදවාචකයක් ඉතිරි කරමින් ගුවන් යානා දෙකක් ගුවනේ දි ගැටෙනවා.

දැන් ඔබ කියයි. ජේක් වරදකරුවෙක් කියලා. ඒ වගේ ම ඔබ ජේක් ට චෝදනා කරන අතරවාරයේ ම ජේක් ට මරණ දඬුවමත් නියම කරයි. ඒත්... තමන් අතින් නොසිතා ම වුණ වැරැද්ද වෙනුවෙන් ඒ වැරැද්දෙන් මියගිය අය වෙනුවෙන් වැරදිකරුවෙක් මොනතරම් දුක් විඳිනවද කියන කාරණය ඔබට Aftermath සිනමා පටය නැරඹුවහොත් දැනේවි. නමුත් කතාව එතනින් එහාට වෙනස් මානයකට ඇදිලා යනවා. ඒ තමයි මේ ගුවන් අනතුර සිද්ධවෙලා වසරකට පස්සෙ රෝමන් මේ අනතුරට වග කිව යුත්තා වුණ ජේක් ව හොයාගෙන යනවා.

ඒ වෙද්දි ජේක්ට මොනා වෙලා ඇත් ද?
රෝමන් හා ජේක් හමුවීම සිද්ධ වෙයිද?
ඒ දෙන්නා අතර මොනවගේ තත්ත්වයක් ඇති වෙයි ද?


මම ඒ කිසිම දෙයක් ගැන පිළිතුරු දෙන්නෙ නැහැ. ඒක් මේ සිනමා පටය බලලා ම ඔබට දැන ගන්න කියලා මම යෝජනා කරනවා.Aftermath සිනමා පටය නරඹා අවසන් වෙද්දි ඔබට දැනෙන හැඟීම මහ පුදුමාකාර එකක් වෙන බව නම් මම දන්නවා. ඒකට හේතුව වෙන යමක් නෙවෙයි මේ මිනිත්තු අනූ දෙක පුරාවට ම අපිට අපේ ජීවිතවල යම් යම් ස්වරූපයන් සිනමා පටයේ කතාවට බද්ධ කරලා ඒ කතාවෙ චරිත හරහා ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂක වරයාට පුලූවන් වෙලා තියෙනවා.

බැඳීම් කියන්නෙ මොනතරම් ආදරණීය දෙයක් ද? ඒ වගේ ම බැඳීම් අහිමි වුණාම අපේ ආදරණීයයන් මිය ගියොත් දැනෙන වේදනාව කොයිතරම් ද? ඒ වගේ ම නොසිතා කළ වරදක් නිසා හෘද සාක්ෂිය කොයිතරම් අපිව විඳවීමට අරන් යනවා ද? මේ වගේ කාරණා ගණනාවක් ගැන ඔබට හිතන්න බල කරන සිනමා පටයක් තමයි Aftermath සිනමා පටය.

@ ගයාන් අබේසිංහ

No comments:

Post a Comment