Tuesday, July 31, 2018

සුන්දර කවිකමින් සුසැදි ‘එදා එහෙම දවසක්‘






චමත්ක කවීන් යනු විවිධ වූ කලා ක්ෂේත්රය තුළ ස්වකීය පා සලකුණු සටහන් කරමින් දිගු ගමනක් යන්නට වෙර දරන්නෙකි. තවමත් ළමා වියේ පසු වුනද චමත්ක ගේ යම් යම් නිර්මාණ අපට ඉඟි කරනුයේ අනාගතයේ දිනෙක ඔහු ස්වකීය කලා හැකියාවන් මගින් මේ බිම මත ස්ව අනන්යතාවයක් සලකුණු කරන්නට දිගු ගමනක් යන්නෙකු ලෙසය.

චමත්ක කවීන් මුලින් ම කාව්යකරණයට පිවිසෙන්නේ ස්වකීය ළමා අවදියේ රචනා කරනු ලැබූ කාව්ය එකතුවක් පළකිරීම සමගින් ය. ඒ දඬු පාළම යැයි නම් ලද එම කෘතිය චමත්කගේ වයසේ දරුවෙක් තුළ සාමාන්ය වශයෙන් පෙන්නුම් කරන පරිකල්පනයට මදක් ඔබ්බෙන් වූ පරිකල්පනයකින් යුක්තව රචනා කර තිබුණු කවි කිහිපයකින් ම සුසැදී තිබුණි. පසුගිය දිනක එළිදක්වන ලද එදා එහෙම දවසක් ඔහුගේ සාහිත්ය‍ නිර්මාණකරනයේ දෙවන කාව්යමය උත්සහයයි.

තිඹිරිගෙයි සිට සුසානය දක්වා සාමාන්ය මිනිසෙක් මුහුණදෙන අත්දැකීම් සම්භාරයකි. කවියෙක් එවන් මිනිසෙක්ගෙන් වෙනස් වන්නේ ඔහු අත්දකින දෑ නව්යය වූත් අපූර්ව වූත් අයුරින් පරිකල්පනය කරමින් කවි නිර්මාණය කිරීම මගින් ය. චමත්ක ද කුඩා දරුවෙක් වුව එවන් පරිකල්පනයක හිමි කරුවෙකි.

‘‘වේවැල් කසාය ද හීන් ටොක්ක ද
කම් නැත
සිප් දුන් ගුරු දෙගුරු ඔවදන් ද
නිම් නැත
එන්න ද එපා ද අයියණ්ඩියේ
ඔය සරසවි පියස්සට
ආවොතින් කන්නට වේවි ද
තැලූම් ඔය තරමට ම’’


සරසවි තැළුම යනුවෙන් දක්වා ඇති උක්ත කවි පෙළ චමත්කගේ අතින් නිමැවුණු වඩාත් අපූර්ව කවියක් සේ හැෙඟයි. නූතන සරසවි සිසුවාගේ ෙඛිදනීය ඉරණම දිනපතා අපි රූපවාහිනියෙන් දකින්නෙමු. උද්ඝෝෂන හමුවේ ලැබෙන ජලප්රහාර කඳුළු ගෑස් පමණක් නොව බැටන් ප්රහාර ද නිදහස් අධ්යාපන වරප්රසාදය විඳින්නට සරසවි යන සිසුවාගේ පොදු උරුමයන් බවට පත්ව ඇති සමාජයක් දැන් දැන් නිර්මාණය වෙමින් පවතියි. අනාගතයේ දිනෙක චමත්කලා ද පා තැබිය යුත්තේ මෙවන් සරසවියකට ද යන්න චමත්ක සීරුවෙන් සිය කවිය මගින් ප්රශ්න කරයි. එක් පසෙකින් ඒ පැනය මගින් නූතනයේ පාසැල් පද්ධතියේ අධ්යාපනය ලබන චමත්කලාගේ පරපුර ම නගන පැනයකැයි පැවසීමෙහි ද සදොසක් නැත. සංක්ෂිප්තව නගන උක්ත කවිය මගින් සමස්ථ සමාජ ප්රවාහය තූළ සරසවි සිසුන් විදින කටුකර ඉරණම මෙන් ම අනෙක් පසින් අනාගත පරපුරේ අකුරු උරුමයේ අවිනිශ්චිතතාවය ද මනාව පිළිබිඹු වෙයි.

හදවත නැතිවෙලා යන කවි පෙළ ද එදා එහෙමත් දවසක් කෘතියේ ඇති අපූර්ව කවියකැයි පැවසිය හැකිය.

‘‘ටිකකට කලියෙන් උඹත් එක්ක
රංඩු සරුවල් කරපු අර ඉලන්දාරියා
මෙතනින් යන ගමන්
වැව මැදට විසික්කා කොලා දුවේ
අරහෙම කියාගෙන
‘මට එපා උඹෙි හදවත’’


චමත්ක ගරහණය කර ගන්නේ සාමාන්ය සංසිද්ධියකි. ඒ වැව රවුමේ සිය පියා සමගින් යන අතර ඔහු මුහුණ දුන්නකි. වැව රවුමේ කතා බස් කරමින් උන් පෙම් යුවලක් අතර විරසකයක් ඔහු නෙත ගැටෙයි. පෙම්වතා මුදුව වැවට විසි කරයි. කවියා දකින්නේ මෙයයි. ඒ බව ඔහු කවියේ පහළින් පරිකතාව තීරුවේ දක්වයි. නමුත් ඒ අනුභූතියේ පෙම්වතා විසි කරන බෞතික වස්තුව වන මුදුව යන්න චමත්ක සිය කවියේදී හදවත ලෙසින් සංකේතකරණය කරයි. හදවත වැවට විසි කිරීම යන සංකේතාර්තය තුළ බැඳීමක් බිඳ වැටීම තුළ ඇති මරණීය වේදනාව ජනනය කරන්නට කවියා සමත් වෙයි.

දිවි සූත්රය කවිය ද පැසසිය යුතු කවියකැයි හැ‍ඟන්නේ පියෙකුගේ හා පුතෙකුගේ ජීවන අභිලාශයන් පිළිබඳ කවියා දක්වන අපූර්ව ස්වරූපය හේතුවෙන් ම ය.

‘‘මම අහන්නේ පන්තියේ පාඩම
ගණිතය
තාත්තා කියන්නේ විදුලි බිලේ
ගණිතය
මම නගින්නේ පාසලේ
පඩිය
තාත්තා ගනින්නේ මාසේ
පඩිය
අපි උදේ යන්නේ
එකට
හැබැයි අපි හිතින්
දෙපොලක’’



පියා ජීවිතයේ සැබෑවට මුහුණ දෙයි. ඔහුගේ ජීවන අභිලාශය දිනෙක සිය දරුවාගේ අනාගතය සාර්ථක කිරීමයි. එහෙත් ඒ වෙනුවෙන් ඔහුට සමාජය හා ගැටෙන්නට සිදුවෙයි. ඒ ගැටුම දරුවා දකින ස්වරූපය කවියාගේ කවිකම හරහා නිර්මාණය ව ඇත්තේ අපූර්වත්වයකින් ය.

දක්ෂ කවියෙක් ට ස්වකීය කවිකම් රමණීය ලෙසින් නිමවා සහෘදාස්වාදය වෙනුවෙන් ඉදිරිපත් කරන්නට සිය කවිබස ද මනා පිටුවහලක් සපයයි. චමත්කගේ කවි බස වරෙක එවන් රමණීයාර්ථයෙන් යුක්තය. කාවේයා ්ක්ති භාවිතය තුළ පවා මනා ගැලපීමක් පවතියි

‘‘ඉහ මොලේ දාලා යන සැර
ගැලක පොත් බර
කශේරුව දුණු හැඩ
තක්සලාවේ’’



තේමාව සහෘද බද්ධ කිරීමේ දී චමත්ක වරෙක භාවිත භාෂාව ද චමත්කාරය. අනෙක් අතට සිය කවිය මගින් යම් යම් අනුභූතින් දෙස උත්ප්රාසයක් ජනිත කරන්නට ද චමත්ක උත්සහ ගනියි

‘‘විස තිබුණත් බඹර තුඬේ
නොගත්තෝ කවුරුද පැණි බිඳු
බඹර රොන්

නිවමින් පවස ගිමනේ
කවුරුද එදා නොබී ඉවත ලෑවේ
ධනපාල (මධුවිත) මුදලාලිගේ
සව්කැඳ දන්සැලේ’’



මෙවන් අපූර්ව කවි වලින් සමන්විත ‘එදා එහෙමත් දවසක්’ සැබැවින් ම අනාගතයේ කවි කෙත සුසර කරන සුහුඹුල් කවියෙක් පිළිබඳ අපට පවසයි. එය තව දුරටත් තහවුරු වන්නට නම් චමත්ක තව තවත් සතතාභ්යාසයේ නිරත විය යුතුයැයි ද පැවසිය යුතුම ය. මන්ද මෙහි ඇති යම් යම් කවි කිහිපයක කාව්ය රසය හීනව ඇති වා මෙන් ම සමහර කාව්යානුභූතින් තෝරා ගැනීම සම්බන්ධයෙන් ද දෙවරක් සිතිය යුතු යැයි සිතෙන නිර්මාණ කිහිපයක් ද මෙහි අන්තර්ගතය. ඒ කෙසේ වුවත් අද මහා කවියන් සේ කිත් කිරුළු පළඳින්නෝ ද පසුකර පැමිණ ඇත්තේ මෙවන් අවදි බැව් චමත්ක අවබෝධකර ගත යුතුය. එසේ ම ඒ අඩුපාඩු සාදා ගනිමින් නිරන්තර අභ්යාසයේ යෙදෙමින් දුර ගමනක් යන්නට චමත්කට හැකි යැයි අපි විශ්වාස කරන බවද දක්වමු.

@ ගයාන් අබේසිංහ

No comments:

Post a Comment